එජාප අපේක්ෂකයා ගැන කබීර්ගෙන් ඉඟියක්

එජාප අපේක්ෂකයා ගැන කබීර්ගෙන් ඉඟියක්

August 13, 2019   06:22 pm

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කිසිවිටෙකත් අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබූවෙකු නොවනු ඇති බව එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි

එවන් වාතාවරණයකදී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බව එම පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් රැසක් අද මාධ්‍ය හමු පවත්වමින් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් පාලන නියෝජිතයින් අද සම්මත කළේය.

‍මෙවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත්කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එලෙස ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කිසිවිටෙකත් අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබූවෙකු නොවනු ඇති බව ද එම නිවේදනයේ සදහන්ය.

එම අපේක්ෂකයා අනාගත පරපුර නව ලෝකයට ගෙන යා හැකි, දුප්පතාගේ දුක හඳුනන, උගත් පුද්ගලයෙකු වන බවත් රටේ නීතියට ගරු කරන - එය නොබිදින පුද්ගලයෙකු වනු ඇති බවත් එහි දැක්වෙයි.