හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල මෙවරත් තරු රැසක් අභිෂේක ගන්වයි

හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල මෙවරත් තරු රැසක් අභිෂේක ගන්වයි

June 29, 2019   07:15 am

හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්විය.

2018 වසරේ ‍හොඳම චිත්‍රපටය ලෙස  එහිදී සම්මානයට පාත්‍ර වුයේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද අකෝඩින් ටු මැතිව් චිත්‍රපටයයි.

හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ පෝරිසාදයා චිත්‍රපටයේ රඟපෑ දර්ශන් ධර්මරාජ්.

හොඳම නිළිය ලෙස දැවෙන විහඟුන් චිත්‍රපටයේ රඟපෑ අනෝමා ජනාදරී සම්මාන ලැබුවාය.

හොඳම තිර රචනය සඳහා වන සම්මානය ඝරසර්ප චිත්‍රපටය වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි පිදුම් ලැබුවේය.

හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙස දැවෙන විහඟුන් චිත්‍රපටයේ අධක්ෂක සංජීව පුෂ්පකුමාර හිමිකර ගත්තේය.

2018 වසරේ වසරේ වැඩිම ආදයම ලැබු චිත්‍රපටය ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ යශෝදරා චිත්‍රපටය සම්මාන ලැබුවේය.

එහිදී සමනලී ෆොන්සේකා හොඳම සහය නිළිය සම්මානයෙන්ද, හොඳම සහය නළුවා සම්මානයෙන් මහේන්ද්‍ර පෙරේරා ද පිදුම් ලැබුවේය.

ජනප්‍රියම නළුවා ලෙස ජැක්සන් ඇන්තනී සම්මාන ලැබු අතර උදාරි වර්ණකූලසූරිය ජනප්‍රියම නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය.

හොඳම විකට නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ බන්දු සමරසිංහයි.

ජනප්‍රියම ප්‍රතිවීර චරිතයට හිමි සම්මානය ටෙඩී විද්‍යාලංකාර විසින් හිමිකරගනු ලැබුවේය.

නැඟි එන නිළිය ලෙස නයනතාරා වික්‍රමාරච්චි සම්මානයට පාත්‍ර  වු අතර ලක්ස් ග්ලැමරස් ස්ටාර් ලෙස ශලනි තාරකා සම්මානයට පාත්‍ර විය.

කුළුඳුල් චිත්‍රපටයේ දැක්වු රංගන කුසලතාවය වෙනුවෙන් ජුරියේ විශේෂ සම්මාන ත්‍රිත්වයක් පිරිනැමුණු අතර ඝරසර්ප චිත්‍ර පටයේ රඟපෑ දේවක පෝරගේ සහ කාවිනද්‍යා අධිකාරී මෙන්ම අකෝඩින් ටු මැතිව් චිත්‍රපටයේ රඟපෑ කෙවින් ලුඩෙවොයික් එම සම්මාන දිනා ගත්තේය.

ජීවිතේ එක්වරක් පමණක් පිරිනැමෙන යාවජිව උත්තමාචාර සම්මානය ප්‍රවීන රංගන ශිල්පි අමරසිරි කලංසුරිය වෙත පිරිනැමුනි.