දේශපාලන බලය ලබා ගන්න ඇතැම් අන්තවාදී කණ්ඩායම් දරන උත්සහය පිළිකුල්-අකිල

දේශපාලන බලය ලබා ගන්න ඇතැම් අන්තවාදී කණ්ඩායම් දරන උත්සහය පිළිකුල්-අකිල

June 18, 2019   04:04 pm

නැති වී ගිය දේශපාලන බලය ලබාගන්නට ඇතැම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් දරන උත්සාහයන් පිළිකුල් සහගත බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කිසියම් ජාතියක් අන්තවාදීව කටයුතු කළොත් ඒ ජාතිය විනාශයට පත්වන බවත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක පොදුවේ සියල්ලන්ට භුක්ති විඳින්නට සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් ජාතිවාදය, ආගම්වාදය සහ වර්ගවාදය වපුරමින් තමන්ට නැති වී ගිය දේශපාලන බලය ලබාගැනීමට උත්සාහ දරන බවත්, එම පිළිකුල්සහගත තත්ත්වය හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ අවස්ථාවේ සියලු ජනතාව ඉතා බුද්ධිමත් ව කටයුතු කළ යුතු බවත්, රටක් වශයෙන් ඉදිරියට යාමට නම් ජාති, ආගම්, වර්ග වශයෙන් බෙදී යාම් නතර කොට සාමූහික ව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයන් බෙදාහදාගෙන සමගියෙන් ජීවත් වූ  ජාතියක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පසුගිය දා රුපියල් මිලියන 23.78ක වියදමින් කුරුණෑගල සහිරා ආදර්ශ මහා විද්‍යාලයේ දෙමහල් තාක්ෂණික ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.