ගෝඨාභයගේ පෙත්සම් 2ක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ගෝඨාභයගේ පෙත්සම් 2ක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

June 18, 2019   02:49 pm

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සහ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම  නියෝග ලබා දුන්නේය.

මෙම පෙත්සම් ඉකුත් දිනවල විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු මූලික විරෝධතාවක් මතු කරමින් මෙම පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියි.

එම මූලික විරෝධතාව පිළිගත් අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සහ ප්‍රතිශෝධන පෙත්සම  විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට නියම කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා  අධිකරණය හමුවේ කියා සිටින්නේ   ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය පැවරී තිබෙන්නේ බරපතළ ආර්ථික වැරදි සහ මූල්‍ය අපරාධ පිලිබඳ නඩු විභාග කිරීමට පමණක් බවත්  තමන්ට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව එවැනි ගණයට අයත් නොවන නඩුවක් බැවින් එය විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියි.

එහෙත් එම මූලික විරෝධතාව විශේෂ මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසු බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

එම  මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම  පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද  ගෝඨාභය රාජපක්ෂ මහතා  වැඩිදුරටත් ඉල්ලා තිබුණි.