අද දෙරණ ප්‍රවෘත්ති නිව්යෝක්හි දී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

අද දෙරණ ප්‍රවෘත්ති නිව්යෝක්හි දී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

June 18, 2019   01:06 pm


අද දෙරණ ප්‍රවෘත්ති සිය ජාත්‍යන්තර ප්‍රමිතිය නැවත වරක් තහවුරු කරමින් ඊයේ(17) අමෙරිකාවේ නිව්යෝක් නුවරදී අන්තර්ජාතික සම්මාන දෙකකින් පිදුම් ලැබීය.

ඒ  රටවල් 70 ක නිර්දේශිත නාම 200 ක් අතුරින් "හොඳම ප්‍රවෘත්ති මැදිරි ආලෝකකරණය" සහ " හොඳම ප්‍රවෘත්ති තේමා සංගීතය" සඳහා වන සම්මාන දිනාගනිමින්.

ලොව ඉහළ කීර්තිනාමයක් හිමි අමෙරිකාවේ " නිව්ස්කාස්ට් ස්ටුඩියෝ  " මඟින් මෙහෙයවනු ලබන "ප්‍රචාරක නිෂ්පාදන සම්මාන ප්‍රදානොත්සවය" මෙවර පැවැත්වෙන්නේ 10 වන වරටයි.

ප්‍රචාරණ සහ සන්නිවේදන ක්ෂේත්‍රෙය් ආයතනවල නිෂ්පාදන මෙහිදී අංශ ගණනාවක් ඔස්සේ සම්මානයට පාත්‍රවෙයි

ඒ සඳහා තෝරාගැනීම් සිදුකරනු ලබන්නේ වෘත්තිමය නිපුණතාවයෙන් යුත් විනිසුරු මඩුල්ලක් මඟින්.

මෙවර එම සම්මාන ප්‍රදානොත්සවය සඳහා රටවල් 70 ක නිර්දේශ නාම 200 ක් මෙවර ඉදිරිපත් වී තිබුණි.

ඒ අතුරින් "හොඳම ප්‍රවෘත්ති මැදිරි ආලෝකකරණය" සහ " හොඳම ප්‍රවෘත්ති තේමා සංගීතය" සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීමට අද දෙරණ සමත්විය.

වාර්තාකරණයෙන් පමණක් නොව , සියලු අංශවලින් අන්තර්ජාතික ප්‍රමිතිය සප්ර්ශ කළ අද දෙරණ ඉකුත් ජනවාරි පළමුවැනිදා පටන් අති නවීනතම පහසුකම් සහ තාක්ෂණයෙන් අනූන ප්‍රවෘත්ති මැදිරියේ සිට ප්‍රවෘත්ති ගෙන එනු ලැබුවේ මෙරට ප්‍රේක්ෂක ජනතාව වෙත නවමු අන්තර්ජාතික අත්දැකීමක් ලබා දෙමින්.

" නිව්ස්කාස්ට් ස්ටුඩියෝ  " සම්මානයෙන් අද දෙරණ පිදුම් ලබන්නේ අප ගොඩනගාගත් එම ප්‍රමිතිය නැවත වරක් ප්‍රේක්ෂක ඔබ හට තහවුරු කරමින්.

ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති සන්නාමයක් මෙම අන්තර්ජාතික සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වූ පළමුවතාව මෙයයි.

CNN ,  ESPN , NBC ආදී රූපවාහිනී ක්ෂේත්‍රෙය් නමදිනූ නාලිකා රැසක් මීට පෙර මෙම අංශ නියෝජනය කරමින් " නිව්ස්කාස්ට් ස්ටුඩියෝ  " සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඒ අනුව අද දෙරණ සම්මානයට පාත්‍ර වූ  " නිව්ස්කාස්ට් ස්ටුඩියෝ  2019 "  අන්තර්ජාතික සම්මාද ප්‍රදානොත්සවය ඉදිරි දිනකදී අමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිතයි.