මිනිස්සු මරණ රජයක මම ඉන්නේ නෑ-මංගලගේ ප්‍රකාශයට රාජිතගේ විරෝධය

මිනිස්සු මරණ රජයක මම ඉන්නේ නෑ-මංගලගේ ප්‍රකාශයට රාජිතගේ විරෝධය

June 17, 2019   01:02 pm

විදේශීය දුම්වැටි ආනයනය කිරීමට කටයුතු කරන කැබිනට් මණ්ඩලයක් තුළ තමා නොසිටින බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන දුම්වැටි මෙරටට ආනයනය කළ යුතු බවට මීට පෙර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඇමතිතුමා මංගල සමරවීර ඇමත්‍යවරයා විසින් චීනයෙන් සිගරට් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කුමන ක්‍රියාවක් සිදු කරන්නේ ද යන්න මාධ්‍යවේදීන් විසින් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලංකාවේ ඇති දුම්වැටිවලට අමතරව තව චීනයෙන් ගෙන්වීමට අදහස් කරන්නේ නම්, එය කෙසේ හෝ අනුමත කළ නොහැකි කටයුත්තක් බවයි.

එයට තමා සම්පූර්ණයෙන් විරුද්ධ වන බවත්, මෙම තීරණයට යම් බලපෑමක් සිදුවන්නේ නම් එවැනි ඇමති මණ්ඩලයක තමා අසුන් ගන්නේ නැති බව ද රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙනුත් වෛද්‍යවරයෙක් ලෙසත්, මිනිසුන්ව ඝාතනය කරන මිනිස්සු ලෙඩ කරන රජයක තමා සිටින්නේ නැති බව ද පැවසු සෞඛ්‍ය අමාත්‍යවරයා, 2015 ජාතික මැතිවරණ වේදිකාවේ මෙය ප්‍රධාන මාතෘකාවක් වු බවත් පැවසු රාජිත සේනාරත්න මහතා, මේ සඳහා මහජන වරම හිමිකර ගෙන ඇති බව ද පැවසීය.