බදියුදීන් ත්‍රස්ත ක්‍රියාවලට සතොසේ වාහන භාවිත කළ බවට විමල්ගෙන් චෝදනාවක්

බදියුදීන් ත්‍රස්ත ක්‍රියාවලට සතොසේ වාහන භාවිත කළ බවට විමල්ගෙන් චෝදනාවක්

June 12, 2019   08:59 pm

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියා සඳහා සතොස ආයතනයේ වාහන රැසක් භාවිත කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

අද (12) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

තොරතුරු කිහිපයක් අනාවරණ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසුවේය.

“අපි රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට කියනවා, ‘අධිකරණයේදී හමුවෙමු. එහිදී අපි සතොස වාහන වහාබ්වාදීන් විසින් භාවිතා කිරීම පමණක් නොවෙයි, තවත් බොහෝ කරුණු ඔප්පු කර පෙන්වන්නම්. 

එදාට සතොස කීර්තිනාමයට හානි කළේ කවුද, කියා මේ රටේ ජනතාව තවදුරටත් තේරුම් ගනිවි’ කියා. අද දින මීට අදාළව එක සාක්‍ෂියක් පමණක් ඉදිරිපත් කරන්නම්. සතොස ආයතනය සතු PI-2961, PI-2962, PI-2963, PI-2882 වාහන පිළිබඳ බොහෝ තොරතුරු අප සතුව තිබෙනවා.

PI -2963 වාහනයේ GPS වාර්තාවක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. ‘කොළඹින් ගමන් ආරම්භ කරනවා. වැඩි වෙලාවක් නතරව ඉන්නේ සයින්දමරුදු, මඩකලපුව ආදී ප්‍රදේශවල. 

ඉන් පසුව මන්නාරමට ගිහින් බොහෝ කාලයකට පසුව තමයි මේ වාහනය කොළඹට එන්නේ.’ (වාර්තාව මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි) මේ වාර්තාව අප ඔබ වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් හෝ CD තැටි මාර්ගයෙන් ලබා දෙන්නම්. ඉහත සියලු වාහනවල GPS වාර්තා අපරාධ විමර්ශන අංශය විසින් ලබාගෙන තිබෙනවා. 

ඒ වගේම ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය භාර කොට්ඨාසය තුළ ද මේ සියලු තොරතුරු තිබෙනවා. පොලිස් අපරාධ විමර්ශන අංශය (CID) මේවා පිළිබඳ දන්නවා. 

සතොස හා GPS සේවා සපයන ආයතන වෙතින් මේ සියලු කරුණු ගැන ප්‍රශ්න කරපු CIDය දැන් කිසිත් නොදන්නා බබ්බු වගේ ඉන්නවා. රිෂාඞ් බදියුදීන්ව ආරක්‍ෂා කරනවා. ඒ නිසා CID පරික්‍ෂණ ගැන අපට කිසිසේත්ම සෑහීමකට පත් වීමට බැහැ.“