ජාලිය වික්‍රමසූරියගේ පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් අගවිනිසුරු ඉවත් වෙයි

ජාලිය වික්‍රමසූරියගේ පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් අගවිනිසුරු ඉවත් වෙයි

June 12, 2019   08:16 pm

අයුක්ති සහගත ලෙස සිය තානාපති මුක්තිය ඉවත් කිරීමට විදේශ අමාත්‍යාංශය ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඇමරිකාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම සළකා බැලීමේ කටයුතුවලින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉවත් වුණි.

මෙම පෙත්සම අද(12) අගවිනිසුරු ජයන්ත ජයසූරිය විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කර සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු කටයුත්ත සලකා බැලීමෙන් ඉවත්වන බවයි.

ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 11 වනදා තෙක් කල් තැබුණි.

ජාලිය වික්‍රමසූරිය මහතා කියා සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපතිවරයා ලෙස කටයුතු කළ තමන්ගේ තානාපති මුක්තිය විදේශ අමාත්‍යාංශය විසින් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

එය නීති විරෝධී බවට තීන්දු කරන ලෙසත් විදේශ අමාත්‍යාංශයේ මෙම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් තමා මුලින්ම අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ ද එය විභාග නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවද ජාලිය වික්‍රමසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ඔක්තෝම්බර් මස 11 වනදාට කල් තැබුණි.