වත්මන් ආණ්ඩුව විදේශීය බලවතුන්ගෙ උවමනා එපාකම් ඉටුකරන ආණ්ඩුවක්

වත්මන් ආණ්ඩුව විදේශීය බලවතුන්ගෙ උවමනා එපාකම් ඉටුකරන ආණ්ඩුවක්

May 19, 2019   04:19 pm

2008 ජනවාරියේදී ඇමරිකාවේFBI ආයතනය ලෝකයේ තිබෙන දරුණුම ත්‍රස්තවාදි සංවිධානය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය නිල වශයෙන්ම ශ්‍රේණිගත කළ බවත් එවැනි ත්‍රස්තවාදයක් 2009 මැයි 19 වන දා පෙරවරුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගොස් ඇති බවට තහවුරු වීමත් සමඟ අවසන් වු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෑත ලෝක ඉතිහාසයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් එලෙස සහමුලින්ම විනාශ කළ එකම රට ලංකාව බවද ඒ මහතා පැවසීය.

2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විජේරාම නිල නිවසේදී විශේෂ දේශනයක් පවත්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය. 

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 25,367දෙනෙකු එම යුද්ධයේ දී ජීවිතක්ෂයට පත්වු බවත් සාමාන්‍ය පොලිස් නිළධාරීන් සිය ගනනක්ද, සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය පුරවැසියන් දහස්ගනනක්ද, දේශපාලන නායකයන් ගණනාවක්ද ඒ යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත්වු බව එ මහතා සිහිපත් කළේය.

එමෙන්ම මෙලෙස ඔවුන්ගේ කීම නොඅසා අප යුද්ධය අවසන් කිරීම ඇතැමුන්ට ප්‍රශ්නයක් වු බවත් චීනය අප රටට උදවු කිරීමද එම පිරිසට ගැටළුවක් වු බවද ඒ මහතා එහිදි ප්‍රකාශ කළේය.

තම ආණ්ඩු පාලන සමයේ ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය අවසන් කිළද වත්මන් රජය 2015 ජනවාරි 09 වනදා මේ රටේ බලයට පත්වු දා පටන් විදේශීය බලවතුන්ගෙ උවමනා එපාකම් ඉටුකරන ආණ්ඩුවක් බවට පත් වු බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

2015 දී වත්මන් ආණ්ඩුව ඔවුන්ගෙ විදේශීය හාම්පුතුන් සමඟ එක්වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කරගත්ත30/1 යෝජනාවෙන්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශණය කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන්ගේ සහභාගීත්වයෙන් දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවන්න එකඟවු බවද ඒ මහතා පවසයි.

 30/1 යෝජනාවේ සඳහන් පොරොන්දු ඉටු කිරීමට දැනටමත් ලංකා ආණ්ඩුව නීති ගණනාවක්ම සම්මත කර අවසන් බවත්  2016 අංක 14 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත තුළින්, ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ පරිශ්‍රයකට ඇතුල් වෙලා එහි තිබෙන භාණ්ඩ හෝ ලියවිලි තමන් සන්තකයට ගන්න බලය තියෙන, අවශ්‍ය පුද්ගලයන් කැඳවා රාජ්‍ය රහස් පනතේ විධි විධානත් බල රහිත වෙන විදියට සාක්‍ෂි  විභාග කළ හැකි විමර්ශණ සභාවක් දැනටමත් ඇති කර අවසන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ විශේෂ ප්‍රකාශය පහත සඳහන් වේ.

 

Sinhala 19 May 2019 by Anonymous 1VixSmcM on Scribd