අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඥාතින් අධිකරණ භූමියේ නොසන්සුන් වෙයි

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඥාතින් අධිකරණ භූමියේ නොසන්සුන් වෙයි

May 15, 2019   07:24 pm

පසුගියදා වයඹ පළාතේ තුළ ඇතිවූ නොසන්සුකාරි සහ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගත් පසුව රක්ෂීත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මාරවිල,නිකවැරටිය සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසු අධිකරණ භූමි තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හට ගැනුණි.

නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ඇතුළු ප්‍රදේශ කිපයක පසුගියදා ඇතිවු කලහාකාරි සිද්ධි සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනුණු  තිස් එක් දෙනෙකු අද (15) පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කෙරුණි.

එහිදී මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියෝග කළේ සැකකරුවන් දින 14 කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගර ගතකිරීමටයි. 

එහිදී අධිකරණ භූමියට රැස්ව සිටි සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ කළහකාරී ලෙස හැසිරීමට පටන්ගත් අතර එය පාලනය කෙරුණේ පොලීසිය සමග යුද හමුදාව සහ කැරළි මර්දන ඒකකයද එක් වීමෙන්.

මේ අතර පසුගිය සඳුදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු 12 දෙනෙක් අද පෙරවරුවේ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට නියෝග කෙරුණි.

එම අවස්ථාවේදී ද අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි සැකකරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණේය.

එම ස්ථානයේ රැඳී සිටි අයෙක් අද දෙරණ මාධ්‍යෙව්දියාගේ රාජකාරියට ද බාධා කළේය.

පසුගියදා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් පස් දෙනෙකු අද පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඉන් තිස් දෙදෙනෙක් එළඹෙන 22 දා දක්වාත් ඉතිරි තිදෙනා එළඹෙන 29 දා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එම නියෝගය ලබා දීමත් සමග අධිකරණය ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිවූයේ සැකකරුවන්ගේ ඥාතීන් ඇතුළු අධිකරණ භූමියට රැස්ව සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරීමෙන්.