කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට

කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට

May 15, 2019   07:16 pm

ඉකුත්දා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණි.

මෙම වෑන් රථය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කළ බවත් එහිදී මෙය කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ මෙම වෑන් රථය මිලට ගැනීමට හා රථයේ ආසන සකස් කර ගැනීමට තවත් පුද්ගලයෙක් සම්බන්ධ වී ඇතැයි අනාවරණය වු අතර එම පුද්ගලයා අද(15) පොලිස්  අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ තැනැත්තා පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටිය දී එම තැනැත්තා දැක ඇති සාක්ෂිකරුවන් සිව් දෙනෙක් හමුවී තිබු අතර, ඒ සාක්ෂිකරුවන් පොදුවේ පවසන පරිදි මෙම සැකකරු වයස අවුරුදු 35-40ත් අතර වන කෙට්ටු සිරුරක් ඇති, උස අඩි 5 අඟල් 6ක් පමණ වු මුහුණ පුරා රැවුල ඇති තලෙළු පුද්ගලයෙක් බව අනාවරණය වී තිබුණි.

සාක්ෂි අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශය විසින් එක් එක් විස්තර අනුව චිත්‍ර 4ක් ඇඳ මාධ්‍යයට ප්‍රකාශයට පත් කළ අතර,ඒ අනුව ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නව කාන්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයෙකි.

ඔහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදු කරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එම වෑන් රථයේ ලියාපදිංචි හිමිකරු වන්නේ කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මෙහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයකි.

මෙම වෑන් රථය කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා ගොස් තිබුණේ වෑන් රථය තුළ ද බෝම්බ සහිතවයි.

ඒ අදාළ වෑන් රථය වන්නේ WP-PJ 4080 දරණ වෑන් රථය පසුව අප්‍රේල් මස 22 දින පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සමඟ නවතා තිබුණු වෑන් රථය ඉතා ආරක්ෂාකාරී ලෙස පුපුරුවා හැරීමට කටයුතු කළේය.