වැලි වෙළෙඳාම ගිය දුර නිසා කන්තලේ උණුසුම්

වැලි වෙළෙඳාම ගිය දුර නිසා කන්තලේ උණුසුම්

May 15, 2019   07:14 pm

කන්තලේ, සූරියපුර මහවැලි ගඟේ ඉවුර ඛාදනය වීම වැළැක්වීම සඳහා ඉදිකිරීම් භාර දුන් පෞද්ගලික සමාගම එම ස්ථානයේ වැලි ගොඩ දමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ප්‍රදේශවාසීන් අද (15) එම ස්ථානයේ විරෝධතාවයක් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ පොලිසිය පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්වයක් හටගත්තේය.

කන්තලේ, සූරියපුර මහවැලි ගඟ ආශ්‍රිත සන්කෙන් ලංකා පොදු වැලි තොටුපොළ ආසන්නයේ ඇති පාලම අසළ ඉවුරු බැම්ම කලක සිට ඛාදනයට ලක්ව තිබුණි.

මෙය පිළිසකර කර දෙන ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමට අනූව මහවැලි අධිකාරිය විසින් එම කටයුතු පවරනු ලැබුවේ පෞද්ගලික ආයතනයකටයි.

එහෙත් එම ආයතයේ පිරිස් ඉදිකිරීම් අතරමග නවතා දමා එහි වැලි ගොඩදමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

එයට විරෝධය පෑමට ඔවුන් එහි රැස් වූ අවස්ථාවේ එම ස්ථානයට  සූරියපුර පොලිසියේ නිලධාරීන් සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

කෙසේ වෙතත් පොලිසියේ කරුණු පැහැදිලිකිරීම්වලින් පසු ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් පිටත්ව ගිය බවත්, අද දින එහි වැලි ගොඩ දැමීමක් සිදු නොවූ බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.