කුලියාපිටිය ගැටුමට මා සම්බන්ධ යැයි කීම බොරුවක්-මධු මාධව

කුලියාපිටිය ගැටුමට මා සම්බන්ධ යැයි කීම බොරුවක්-මධු මාධව

May 14, 2019   06:04 pm

කුලියාපිටිය ගැටුමට තමා සම්බන්ධ යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මධු මාධව අරවින්ද මහතා පවසයි.

අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අරවින්ද මහතා කියා සිටියේ, සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිරියට අරගෙන යන පිරිස විසින් ගත් අපූරු අසාර්ථක උත්සාහයක් ලෙස මෙය දැක්විය හැකි බවයි.

ඊයේ(13) දිනයේ දී කුලියාපිටිය ගැටුමේ මහා කුමන්ත්‍රකරු කියලා තමාට එරෙහිව නිර්මාණය කරන ලද ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළින් ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මධු මාධව අරවින්ද මහතා මෙසේ පැවසීය.

“මුලින්ම කියන්න ඕනෑ මේ කුලියාපිටිය නොවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ. 

අපි ඊයේ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක් ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා.  

එවිට එතුමා මට කියනවා “සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.”  

ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා.  

එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ. 

ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා.  ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා.  වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවන්නක් නොමැති බව.

සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ. 

ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවා.
 
ඒ වගේම මේ කතාව සහමුලින්ම බොරුවක් බව මේ වෙනකොටත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා.“