තවුහීද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රිමාන්ඩ්

තවුහීද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රිමාන්ඩ්

May 7, 2019   11:33 am

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන  21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම සැකකරු අද බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය   ඉදිරියට පමුණුවනු ලැබීය.

මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති  බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බවයි.

මෙම සැකකරු සතුව තිබී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියම කළේය.