FBI සහ MI5 විමර්ශකයන් රට තුළට වද්දගන්න එපා-ජානිපෙ

FBI සහ MI5 විමර්ශකයන් රට තුළට වද්දගන්න එපා-ජානිපෙ

April 26, 2019   10:03 am

ත‍්‍රස්තවාදය මැඩලීමට ඇමරිකානු FBI හා බි‍්‍රතාන්‍ය MI5 විමර්ශකයන් මෙරටට වද්දා ගතහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාවේ ඛේදනීය ඉරණම අත්වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ඊයේ(25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවිර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් ත‍්‍රස්තවාදය පැරදවීමට කොටි ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මෙරට ආරක්ෂක හමුදාවන්ට හැකියාව ඇති බවයි 

IS හෙවත් ‘ඉස්ලාම් රාජ්‍යය’ නැමැති ත‍්‍රස්තවාදී සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපද ඔත්තු සේවය  වන CIA විසින් නිර්මාණය කරන ලද්දක් බවත් ඇමරිකාව එම ත‍්‍රස්තවාදී සංවිධානය හෝ එහි අනුගාමිකයන් රටවල් තුළට රිංගවා ඔවුන් ලවා ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සිදු කර වූ බව මේ වන විට තහවුරු වී ඇති කරුණක් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම මේ කුරිරු ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන රටවල්වලට සහයෝගය ලබා දීමේ මුවාවෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය සිය හමුදා එවන බවත් එහි මුල් පියවර වන්නේ එම ත‍්‍රස්තවාදී ක‍්‍රියා විමර්ශනය සඳහා FBI විමර්ශකයන් එවීම බවත් සමරවීර මහතා සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඛනිජ සම්පත් ඇතුළු ස්වභාවික සම්පත් බහුල හා යුදමය වශයෙන් වැදගත් ස්ථාවල පිහිටි රටවලට රිංගීම සඳහා මෑත ඉතිහාසය තුළ ඉහත කී උපායමාර්ගය යොදා ගත් බවත් ඉරාකය, ලිබියාව, සිරියාව හා ඇෆ්ගනිස්තානය ඇමෙරිකා එක්සත් ජනපදයේ දඩයම් බවට පත්වූයේ ඒ ආකාරයට බව ද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

IS ත‍්‍රස්ත සංවිධානයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් උගැන්වූ කොටි ත‍්‍රස්තවාදීන් පොඩිපට්ටම් කළ අපේ වීරෝදාර ආරක්ෂක හමුදාවන්ට කිසිසේත්ම විදෙස් ආරක්ෂක හමුදා සහයෝගයක් අවශ්‍ය නැති බවටත් ඔවුන් ඉතා ඉක්මනින් මේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය පරදවනු ඇති බවටත් ජයන්ත සමරවීර මහතා විශ්වාසය පළ කළේය. 

කොටි ත‍්‍රස්තවාදය පැරදවීමේ සටනට නායකත්වය දුන් ඉහළ හමුදා නිලධාරීන් සහ විශිෂ්ට බුද්ධි අංශ නිලධාරින් නිසි තැන්වල ස්ථානගත කොට මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා මැඩලීමට යොදවන ලෙස සේනාධිනායකවරයා වන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ජයන්ත සමරවිර මහතා කොටි පැරදවීමට ලබා දුන් සහයෝගය මෙම ඉස්ලාමීය ත‍්‍රස්තවාදය පැරදවීම පිණිස ද ලබාදෙන ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය.