මියන්මාරයේ අතුරුදන් වූ සියල්ලන් මිය ගිය බවට සැකයක්
සයුරෙන් එතෙර

මියන්මාරයේ අතුරුදන් වූ සියල්ලන් මිය ගිය බවට සැකයක්

April 25, 2019   11:47 am

මියන්මාරයේ උතුරුදිග ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන්වූ සියලු දෙනා මියයන්නට ඇති බවට බලධාරීන් සැක පලකරනු ලබයි.

එම පිරිස නායයෑමට ගොදුරුවී තිබුණේ නින්දට ගොස් සිටියදීය.

උතුරුදිග මියන්මාරයේ කචීන් පළාතේ සිදුවූ නායයෑමෙන් පතල් කම්කරුවන් පිරිසක් රැඳී සිටි නිවහනක් සහ රථවාහන 40ක් පමණ යටවී තිබුණි.

ජේඩ් පතලක් ආශ්‍රිතව මෙම නායයෑම සිදුව ඇති අතර නිවහන තුළ නිදා සිටි කම්කරුවන් 54 දෙනෙකු පමණ ඊට හසුවී ඇති බව සඳහන්ය.

ඔවුන්ගෙන් තිදෙනෙකුගේ සිරුරු පිටතට ගෙන ඒමට සහන සේවකයන් සමත්ව ඇති නමුත් සෙසු පුද්ගලයන්ගේ සිරුරු සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බව බලධාරීන් පවසා සිටියි.

එමෙන්ම මඩ තුළ සිරවී සිටින කම්කරුවන් අතරින් කිසිවකුගේත් දිවි බේරා ගැනීමට හැකියාවක් නොමැති බවද ඔවුන් පවසා ඇත.

කෙසේ වුවද මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර විදෙස් වාර්තා සඳහන් කළේ නියමිත රෙගුලාසි වලට අනුකූල නොවන පතල් කැණීම් හේතුවෙන් සිදුවන මෙවැනි අනතුරු නිසා සෑම වසරකම මියන්මාරයේ කම්කරුවන් බොහෝ පිරිසකගේ දිවි අහිමි වන බවයි.