දිවයින පුරා හදිසි සෝදිසි මෙහෙයුම්-වසා දැමූ ගුවන්තොටුපල පිවිසුම යළි විවෘතයි

දිවයින පුරා හදිසි සෝදිසි මෙහෙයුම්-වසා දැමූ ගුවන්තොටුපල පිවිසුම යළි විවෘතයි

April 25, 2019   11:28 am

දිවයිනේ සියලුම නගරවල මාර්ග බාදක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව පොලීය පවසයි.

සෝදිසි මෙහෙයුම් හේතුවෙන් දිවයිනේ සියලුම නගරවල කිසිදු මාර්ගයක් වසා නොමැති බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්  අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් ජනතාවට දන්වා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ(24) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම් වලදී සැකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී තිරප්පනේ ප්‍රදේශයේන් පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී රීපීටර් වර්ගයේ ගිනි අවියක් බෝර 12 වර්ගයේ ගිනි අවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගයෙකු සතුව තිබී වෝකි ටෝකි දෙකක් සොයාගෙන ඇති අතර ඔහු වත්තල මාබෝල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු බව වාර්තා වෙයි.

අදාල මන්ත්‍රීවරයා මෙරය ප්‍රභල පෙලේ දේශපාලකයින් සමග සමීප සබඳතා පවත්වා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට යළි දැනුම් දෙනතුරු සියලුම ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත ගුවන් යානා මෙරට ගුවන් සීමාව තුළ භාවිතය තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.

පූගොඩ අධිකරණ සංකීරණය පිටුපස කැබලි කර විකිණීම සඳහා සකස් කරන ලද හිස් ඉඩමක අද උදෑසන 9.00ට පමණ යම් කිසි පිපිරීමක් සිදුව තිබේ.

මෙහිදී කිසිදු පුද්ගලයෙකුට හෝ දේපලකට හානි සිදුව නොමැති බව ද පොලීසිය පවසයි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත් පිපිරීම සිදුවූ ස්ථානයේ අඩියක පමණ වලක් සෑදී තිබුණි.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය අද පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණු අතර අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මෙලෙස මාර්ග තාවකාලිකව වසා දැමුණු බවයි. 

අදාළ මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ධාවනය වෙමින් තිබියදී ආරක්ෂක අංශ විසින් එය නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.

කෙසේ ‍වෙතත් සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව කටුනායක බණ්ඩාර නායක පිවිසුම් මාර්ග මේ වන විට විවෘත කර තිබේ.

මේ අතර රත්මලාන ගුවන්තොටුපල ආසන්නයේ හිමිකරුවෙකු නොමැති ජීප් රථයක් ඊයේ පස්වරුවේ ගුවන් හමුදා නිලධාරීන් විසින් සෝදිසි කරනු ලැබීය.

පරීක්ෂා කරමින් සිටින අතරතුරදී එහි හිමිකරු පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන ඇතුළු මෙරට ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් කිහිපයක් ඉල්ලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විටත් සොදිස්සි මෙහෙයුම් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව අඛණ්ඩව සිදු කරයි.

මේ අතර  බලංගොඩදී අත්අඩංගුවටගත් සැකකරුවෙකු සතුව තිබී සිතියම් කළ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සටහනක් මෙන්ම පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත් 06ක් ද ඔහු සතුව තිබී සොයාගත් බවයි පොලීසිය පැවසුවේය.

එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී කැබ්රථයක්ද පොලීසිය විසින් සොයාගත් අතර  පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පුහුණු කරන ලද ටෝගා නැමැති සුනඛයා ලවා මෙහිදී කැබ්රථය පරීක්ෂා කළේය.

එහිදී පුපුරණ ද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ අතර පොලීසිය රථය පරීක්ෂා කිරීමේදී සොයාගෙන ඇත්තේ කැබි රථයේ පහත තට්ටුව අඟල් 04ක පමණ ව්‍යාජ තහඩුවකින් සකසා ඇති බවයි.

එමෙන්ම ටී 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් හා ජංගම දුරකථන 03ක් හා ටැබ් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මොහු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක සේවය කළ පුද්ගලයෙකු බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත.

මේ අතර වැලිමඩ බණ්ඩාරවෙල ප්‍රදේශවලවලදී පුද්ගලයින් දෙනෙනෙකු බෝම්බ නිෂ්පාදනයට ගන්නා බවට සැකකෙරන යකඩ බෝල තොගයක් සහ ඇමෝනියා තොගයක් සමග වැල්ලවාය පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 16 දෙනා අතර මාර්ග සංවර්ධන අධිකාරියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර මාර්ග පරීක්ෂකවරයෙකු ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදුකළ විමර්ශනයකට අනුව ත්‍රස්තාවාදී කණ්ඩායමකට සම්බන්ධබවට සැකකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මොහු තව්හිද් ජමාද් සංවිධානයේ සම්මන්ත්‍රණ කිහිපයට සහභාගීවී ඇති බවයි.

පාස්කු ඉරුදිනදේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටවල් 13කට අයත් විදේශිකයින් ජිවිතක්ෂයට පත් ඇති බවට තහවුරු වී තිබේ.

මියගිය විදේශිකයින් චීනය, ඉන්දියාව,  බංග්ලාදේශය, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ප්‍රංශය, තුර්කිය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලට අයත් බව සඳහන් වෙයි.

ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු, ඩෙන්මාර් ජාතිකයින් තිදෙනෙකු ඒ අතර වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව අදාල ප්‍රහාරවලින් තවත් විදේශකයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේවනවිට 359ක්. 

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරන්නේ ගෙවිගිය පැය 12 කාලය තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු සිදුවිමක් වර්තා නොවන බවයි.