මුදලට ගිජු වී මිනිස් ජීවිත අනතුරේ දැමු කාන්තාවක් උකුසු ඇසට හසු වෙයි

මුදලට ගිජු වී මිනිස් ජීවිත අනතුරේ දැමු කාන්තාවක් උකුසු ඇසට හසු වෙයි

April 20, 2019   07:48 pm

මිනිස් ජීවිතවලට විනකරමින් මූල්‍යමය ලාභය පමණක් මූලික කරගෙන සිදුකරන කූඨ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

උකුස්සාගේ අද (20)  අනාවරණය ඒ පිළිබඳවයි.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් හඳපාන්ගොඩ අරකාවිල ප්‍රදේශයේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් සුදුසුකමක් නොමැති කාන්තාවක් විසින් ලේ සහ මුත්‍රා පරක්ෂා කරන රසායනාගාරයක් පවත්වාගෙන යන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව උකුස්සා ඒ පිළිබඳව සොයාබැලීම සඳහා අදාල රසායනාගාරය වෙත ගියේ රුධිර පරික්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය බව පවසමින්.

එහිදී ඇය විසින් මනා පුරුදුකාරයෙක් මෙන් පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ලබාගත්තේය.

අප එහි සිටින විටත් ගැබිණි කාන්තාවන් ඇතුළු රැසක් එම ස්ථානයට පැමිණියේ රුධිර සහ මුත්‍රාසම්පල ලබා ගැනීම සඳහායි.

අනතුරුව විනාඩි 20ක් වැනි කාලයකදී ඇය විසින් රුධිර සාම්පලයට අදාල වාර්තාව ලබාදෙනු ලැබුවෙය.

එහිදී අප විමසා සිටියේ අදාල කාන්තාව ලියාපදිංචි රසායනාගාර තාක්ෂණික ශිල්පියෙක් ද යන්නයි.

එම අවස්ථාවේදී ඇය එය ප්‍රතික්ශේප කළේය.

අනතුරුව අප ඇයගෙන් ලියාපදිංචි සහතිකය ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය විසින් එය රැගෙන එන බව පවසමින් කාර්යාලය තුළට ගොස් නැවත පැමිණියේ තම සහතිකය සොයාගත නොහැකි බව පවසමින්.

තවදුරටත් අප සිදුකළ ගවේෂණයේදී අනාවරණ වුණේ මෙම කාන්තාව නිකුත් කළ රුධිර සාම්පල වාර්තාවෙහි ඇතුළත් මුද්‍රාව ඇයගේ නොව වෙනත් පුද්ගලයෙකුගේ බවයි.

මුදලට ගිජුවී මිනිස් ජීවිත අනතුරෙහි හෙළමින් සිදුකරන කූඨ ක්‍රියාවන් ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.