මාබෝල නගර සභාවේ දුෂිත ගණුදෙනුව

මාබෝල නගර සභාවේ දුෂිත ගණුදෙනුව

April 6, 2019   07:17 pm

වත්තල මාබෝල නගර සභාව විසින් ටෙන්ඩර් පටිපාටිය අකර්මන්‍ය කරමින් සිදුකළ දූෂිත  ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

මේ වත්තල මාබෝල නගර සභාවට අයත් පර්චස් 79කින් යුත් අස්වැද්දුම නමින් හඳුන්වන ඉඩමයි.

වත්තල හැඳල හන්දියේ මීගමුව කොළඹ මාර්ගයට මුහුණ ලා ඇති මෙය ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩමකි.

අස්වැද්දුම ඉඩම විකිණීම සඳහා පසුගිය පෙබරවාරි මස 14 වැනිදා වත්තල මාබෝල නගර සභාවේ සභාපතිවරයා විසින් ජාතික පුවත්පත්වල ටෙන්ඩර් දැන්වීමක් පළ කරයි.

අදාළ දැන්වීමට අනුව වත්තල මාබෝල නගර සභාවට යන අයදුම්කරුවෙකුට එහි සභාපතිවරයා ප්‍රතිචාර දක්වන්නේ මේ ආකාරයෙන්ය.

තම උත්සාහය අත්නොහැරි මෙම අයදුම්කරු යළිත් වත්තල  මාබෝල නගර සභාවට යන්නේ අදාළ ඉඩම පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහායි.

එහිදී නාගරික ලේකම්වරිය පවසන්නේ, තමන් ඒ සම්බන්ධයන් කිසිවක් නොදන්නා බවයි. 

ඒ අනුව ටෙන්ඩර් පෝරමයක් ලබා ගැනීමට වත්තල මාබෝල නගර සභාවට ගිය අයදුම්කරුවෙකු නිලධාරීන් විසින් යළි හරවා එවනු ලබන්නේ පෝරමය ගැනීම සඳහා  හෙට දින පැමිණෙන ලෙසයි.

ඒ අනුව ටෙන්ඩර් පෝරම නිකුත් කරන අවසන් දිනය වූ 2019-පෙබරවාරි 28 වැනිදා අප ද එම ස්ථානයට යනු ලැබුවේ මෙහි සිදුවෙමින් පවතින අක්‍රමිකතාව පිළිබඳව ඉව වැටුණු නිසයි. 

ඒ පරිදිම වත්තල මාබෝල නගර සභාවේ සභාපතිවරයා හෝ ලේකම්වරිය ටෙන්ඩර් කැඳවීම අවසන්වන වේලාව තෙක් නගර සභා භූමියට පැමිණෙන්නේ නැහැ. 

මෙහිදී උකුස්සා සිදුකළ ගවේෂණයේදී අනාවරණ වුණේ වත්තල මාබෝල නගර සභාවේ සභාපතිවරයා විසින් අදාල ඉඩම විකිණීම පෞද්ගලික සමාගමකට විකිණීම සඳහා  ටෙන්ඩර් කිරීමටත් පෙර සභාව තුළ යෝජනාවක් සම්මත කරගෙන ඇති බවයි. 

ඒ අනුව වසර 30ක බදුපදනම මත අදාල ඉඩම ලබාගෙන සිටි  පෞද්ගලික සමාගමට තවත් වසර 12ක් ඉතිරිව තිබියදී සභාපතිවරයා විසින් මෙම ඉඩම විකුණා ඇති බව  උකුස්සාට අනාවරණ වුණි.

එපමණක් නොව පර්චසය රුපියල් ලක්ෂ පනහක් පමණ වන මෙම ඉඩම සභාපතිවරයා විසින් විකුණා ඇත්තේ, පර්චසය රුපියල් ලක්ෂ 13 කටත් වඩා අඩු මුදලකටයි.

රජයට රුපියල් කෝටි ගණනක මුදලක් අහිමි කළ වත්තල මාබෝල සභාපතිවරයා කළ මෙම අක්‍රමිකතාව පිටුපස අදාළ ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු ද සිටින බව උකුස්සාට අනාවරණ වුණි. 

මෙම දූෂිත ගණුදෙනුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද ?

අද දෙරණ උකුස්සා අවධානයෙන්.