තවත් කූඨ ජාවාරමක් උකුසු ඇට හසු වු අයුරු

තවත් කූඨ ජාවාරමක් උකුසු ඇට හසු වු අයුරු

March 30, 2019   07:08 pm

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව මෙරට සිටින ආරක්ෂක සත්වයින් ෆේස්බුක් හරහා අලෙවි කිරීමේ කූඨ ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

උකුස්සාගේ අද(30) අනාවරණය ඒ පිළිබඳවයි.

මෙරට ජාතික සත්ත්වයා වන දඬු ලේනා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ආරක්ෂිත සත්වයෙක්.

එම පනතේ තිස්වැනි වගන්තියට අනුව මෙම සත්වයෙකු ළඟ තබා ගැනීම , අලෙවි කිරීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.

එමෙන්ම ලබු ගිරවාද වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ආරක්ෂිත පක්ෂියෙකුවන අතර ලබු ගිරවාද ළඟ තබා ගැනීම අලෙවි කිරීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

එවන් පසුබිමක දඬු ලේනුන් හා ලබු ගිරවුන් ෆේස්බුක් හරහා අලෙවි කිරීමට හෝ පක්ෂීන් සමඟ හුවමාරු කිරීමට ඇති බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ උකුස්සා පළමුව අදාල කූට ව්‍යාපාරය සිදුකරන පුද්ගලයා හමුවීමට කලුතර මග්ගොන කදුරුගස්මුල්ල ප්‍රදේශයට ගියේ අදාල දඬු ලේනුන් මිලදී ගැනීමට බව පවසමින්.

අප එහි ගිය පසු අදාල පුද්ගලයාගේ බිරිඳ විකීණීමට සූදානම්කර තිබූ දඬු ලේනා සම්බන්ධයෙන්  අදහස් පලකළේය.

අනතුරුව ඇය අලෙවි කිරීමට සූදානම් කර තිබූ ලබු ගිරවෙකු ද අප වෙත පෙන්වා සිටියේය.

මුදල් රැගෙන ඒමේ පොරොන්දුව පිට අප එම ස්ථානයෙන් සූක්ෂ්ම ලෙස පිටතට පැමිණියේය.

මේ හරහා අද දෙරණ උකුස්සා හෙළිදරව් කරන්නේ රට පුරා ක්‍රියාත්මක ආරක්ෂිත සතුන් අලෙවි කරන ස්ථාන අතුරින් එක් ස්ථානයක් පිළිබඳවයි.

මේවා පිළිබඳව වගකිවයුත්තන් ක්‍රියාත්මක නොවුණහොත් මෙම ආරක්ෂිත සතුන්ට වඳවී යාමේ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවන බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත.

ඒසේ නම් දැන්වත් මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමක්.