මුම්බායිහි පදික පාලමක් කඩා වැටී 5ක් මියයයි
සයුරෙන් එතෙර

මුම්බායිහි පදික පාලමක් කඩා වැටී 5ක් මියයයි

March 15, 2019   11:44 am

ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන දුම්රිය ස්ථානයක් අසළ පදිකයින් සඳහා ඉදිකර තිබූ පාලමක් කඩාවැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇත.

පසුගියදා රාත්‍රී කාලයේ සිදු වූ එම අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සිදු වන අවස්ථාවේ චත්‍රපති ශිවාජි දුම්රිය ස්ථානයට ඇතුළු වීම සඳහා මගීන් මෙම පාලම භාවිතා කර තිබුණි.

එරට මාධ්‍ය පවසන ආකාරයට අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

සිදුවීම වාර්තා වීමත් සමඟ එම ස්ථානයට සහන සේවකයින් රැසක් යෙදවීමට බලධාරීන් පියවර ගත්තේය.

ඔවුන් අනතුරට පත් පිරිස මුදාගැනීමට මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී සුන්බුන් අතර සිරව සිටි පුද්ගලයින් රැසක් මුදාගැනීමට හැකි වුණි.

පාලම කඩා වැටෙන අවස්ථාවේ ඒ අසළින් ගමන් කරමින් සිටි පුද්ගලයින්ද මෙම අනතුරින් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඉන්දීය අගමැතිවරයා මේ සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළකර තිබූ බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.