කාම්බෝජයෙන් වැඩමකර ශ්‍රී පාදස්ථානය වැදපුදාගත් කාම්බෝජ හිමි නමක් අපවත් වෙයි

කාම්බෝජයෙන් වැඩමකර ශ්‍රී පාදස්ථානය වැදපුදාගත් කාම්බෝජ හිමි නමක් අපවත් වෙයි

March 14, 2019   03:59 pm

කාම්බෝජයෙන් මෙරටට වැඩම කළ හිමි නමක් දික්ඔය මූලික රෝහලේදි අපවත් වී ඇති බව නල්ලතන්නිය පොලීසිය සඳහන් කරයි.

ඊයේ (13) පස්වරුවේ මෙසේ අපවත් වී ඇත්තේ සැම්රොන් ඩාන් 90 හැවිරිදි හිමි නමකි.

කාම්බෝජයෙන් පසුගියදා මෙරටට වැඩම කළ සංඝරත්නය සමඟ මෙම අපවත් වී වදාළ සැම්රොන් ඩාන් හිමි නමද වැඩම කර ඉකුත් 9 වෙනිදා ශ්‍රී පාදස්ථානය වැද පුදාගෙන ආපසු කොළඹ දක්වා යන අතරතුර හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (13) පස්වරුවේ මෙම හිමිනම අපවත් වී ඇති බව නල්ලතන්නිය පොලීසිය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ දික්ඔය මුලික රෝහල වෙත ඊයේ රාත්‍රියේ දී වැඩම කර අපවත් වූ කාම්බෝජ හිමි නමගේ දේහයට අවසන් ගෞරවය දක්වා ඇත.

අපවත් වී වදාළ කාම්බෝජ හිමි නමගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදි ඊයේ සිදු කර ඇති අතර දේහය කාම්බෝජ තානාධිපති කාර්යයාලය වෙත භාර දීමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය පොලීසිය ප්‍රකාශ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.