දේශපාලනඥයින් වැඩ හරියට කරනවා නම් ගම්වල ගැටළු අඩුයි

දේශපාලනඥයින් වැඩ හරියට කරනවා නම් ගම්වල ගැටළු අඩුයි

February 18, 2019   04:19 pm

දේශපාලනඥයින් පැවරුණු වැඩ හරියට කරනවා නම් ගම්වල ගැටළු අඩු කළ හැකියි

දේශපාලනඥයින් විසින් තමන්ට පැවරී ඇති රාජකාරිය නිසි අයුරින් ඉටු කරනවා නම් ග්‍රාමීය ප්‍රදේශවල පවතින ගැටළු නිරාකරණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

හබරණ අභිනවාරාමයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

උතුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම්ලැබූ හබරණ අභිනවාරාමාධිපති පූජ්‍ය දීවිල්ලේ අස්සජී නායක ස්වාමීන් වහන්සේට අධිකරණ සංඝනායක පදවියට අදාළ සන්නස් පත්‍රය පිරිනැමීම වෙනුවෙන් හබරණ අභිනවාරාමයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට අමරපුර නිකායේ මහනායක පන්නිපිටිය දෙව්රම්වෙහෙර විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් , අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, අද ලෝකයේ නොයෙක් අය නොයෙක් පදවි ලබන බවත් ඒ පදවිය අනුව නොයෙක් ආකාරයෙන් හැසිරෙන බවත්, පදවිය අහිමි වුවිට ඔවුන්ට කිසිදු සැලකිල්ලක් සමාජයෙන් හිමි නොවන බවයි.

එනිසා සමාජයට සිදුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව හොඳ අවබෝධයක් තබා ගෙන යුතුකම් ඉටු කරන්නේ නම්,ගම් ද මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමට හැකි බව සඳහන් කළේය.