කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට ක්‍රියාත්මකයි

කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට ක්‍රියාත්මකයි

February 18, 2019   08:00 am

උදෑසන කාලයේ කොළඹ දෙසට ගමන් කරන රථ වාහන තදබදය අවම කිරීම සදහා හෝර්ට්න් පෙදෙස කිංසිපාරේ එක් දිශාවකට පමණක් රථ වාහන ගමනාගමනය සිදුකරන කාලසීමාව අද (18) සිට වැඩි කිරීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

සෑම සතියේ දිනකම  කිංසිපාර හංදියේ සිට කේරී විද්‍යාලය දක්වා පෙරවරු 7.30යේ සිට පෙරවරු 8.00 දක්වා කාලය තුළ එක් දිශාවකට පමණක් රථ වාහන ගමන් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

 කොළඹ දෙසට ගමන් කරන රථ වාහන තදබදය තවදුරටත් අවම කිරීමේ අරමුණින් අද සිට පෙරවරු 7.00 සිට 8.00 දක්වා එම මාර්ගයේ එක් දිශාවකට පමණක් රථවාහන ධාවනයට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

මේ අතර කිංසි රීජන් හංදියේ සිට කේරී විද්‍යාල හංදිය දක්වා ගමන් කරන රථ වාහන මරදාන බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙස දෙසට ගමන් කළ හැකි බව ද පොලීසිය පෙන්වා දෙයි.