තුන් හැවිරිදි දියණියට වද හිංසා සිදු කර මරා දැමු පියාට මරණ දණ්ඩනය තීන්දුයි

තුන් හැවිරිදි දියණියට වද හිංසා සිදු කර මරා දැමු පියාට මරණ දණ්ඩනය තීන්දුයි

February 11, 2019   05:28 pm

වයස අවුරුදු තුනහාමාරක තම දියණියට විවිධ වද හිංසා පමුණුවා ඇය මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර පියෙකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කල උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (11) ඔහුට මරණ දඩුවම නියම කළේය.

මෙසේ මරණ දඩුවම නියම වූයේ තඹුත්තේගම හුරීගස්වැව සුදර්ශනගම සම්පත්ගම පදිංචිකරුවෙකි.

විත්තිකාර පියාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවැති නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා සඳහන් කලේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය සමත්ව ඇති බවයි.

ඒ අනුව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට දඬුවම් ලෙස විත්තිකරුට තමා මරණ දඩුවම නියම කරන බවද මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් පැවසීය.

2005 වසරේ ජූනි මස 21 වන දින හෝ ඊට ආසෙන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හුරීගස්වැව සුදර්ශනගම සම්පත්ගම දී මාස 38 ක් වයසැති තම දියණියට විවිධ වද හිංසා පමුණුවා ඇය  ඝාතනය කළේ යැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ. ඒ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරවය.

විත්තිකාර පියා විසින් ඝාතනය කර ඇති ඔහුගේ දියණියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති එවකට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සහ මාතලේ මහ රෝහලේ වත්මන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතා ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණයේදී සනාථ කර තිබුනේ දැරියට විවිධ වද හිංසා පැමිණවීම නිසා ඇගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීම් සහ පිලිස්සුම් තුවාල කිහිපයක් දක්නට තිබු බවයි.
 
දැරියගේ මරණයට හේතුව  ඝාතනයක් බවට ද විශේෂඥ අධිකරණ වෛද්‍ය වෛද්‍යරත්න මහතා තවදුරටත් තහවුරු කර තිබිණ.

මෙම නඩුවේ මූලික ලඝු නොවන නඩු විභාගය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ ගල්නෑව පොලීසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලැබීය.