චක්‍රලේඛ විකෘති කරමින් වෘත්තීය සමිති සිසුන් සහ මාපියන් නොමඟ යවලා

චක්‍රලේඛ විකෘති කරමින් වෘත්තීය සමිති සිසුන් සහ මාපියන් නොමඟ යවලා

February 11, 2019   04:33 pm

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් බලය පැවරී තිබූ  26/2018 චක්‍රලේඛය වහාම අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය 29 වැනි දා පියවර ගනු ලැබීය.

එම චක්‍රලේඛයේ දුර්වලතා හේතුවෙන් මවුපියන්ගෙන් මුදල් එක් රැස්කිරීමේ අනිසි බලතල විවිධ පාර්ශවයන්ට ලැබී තිබීම හේතුවෙන් මෙහි ඇති ගැටළුකාරී තත්වයන් පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් අදහස් පළ කර තිබුණි.

කෙසේ වෙතත් මෙම චක්‍ර ලේඛය අවලංගු කිරීමත් සමඟ පාසල්වල ප්‍රමාණාත්මක, ව්‍යූහාත්මක සහ සැලසුම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද යම් යම් බාධා මතුවීම හේතුවෙන් පැවති දුර්වලතාවන්ට පිළියම් යොදමින් මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීමේ දී ඔවුන් වෙත අනවශ්‍ය බරක් නොපැටවෙන ලෙස එම චක්‍රලේඛය නැවත සකස් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වනු ලැබීය.

එහි දී පාසල්වල නඩත්තු කටයුතු සඳහා හෝ වෙනත් කටයුතු සඳහා මාපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරුද්ධ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ස්ථාවරය වූ අතර, දරුවන්ගෙන් මුදල් එක්රැස් කරන්නේ නම් ඒ පහසුකම් හා සේවා ගාස්තුවලට ප්‍රමුඛතාව ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලින් ලබාගත් මූලික අනුමැතිය යටතේ සිදුවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ස්ථාවරය විය.

මීට අමතර ව යම් ආකාරයකින් පාසල්වලට මුදල් එක්රැස් කරනු ලබන්නේ නම් හෝ පාසල්වල නඩත්තු කටයුතු සඳහා පරිත්‍යාග ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේද යෝජනා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා වෘත්තීය සමිති සාමාජිකයන් වෙත දැනුම් දෙනු ලැබීය. 

 එමෙන් ම 26/2018 චක්‍රලේඛය අවලංගු කිරීම හේතුවෙන් පාසල්වල වෙනත් අංශයන්ට සිදුවන බලපෑම සහ සෙසු කරුණු සැලකිල්ලට ගනිමින් අවලංගු කෙරුණු චක්‍ර ලේඛය වෙනුවට සුදුසු ප්‍රශස්ත මට්ටමේ චක්‍රලේඛයක් සකස් කිරීම සඳහා සියලු පාර්ශවයන්ට අදහස් හා යෝජනා ලබාදෙන ලෙසත් උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා, ඒ සඳහා කමිටුවක් ද පත්කරනු ලැබිය.

එවන් වටපිටාවක් තුළ ප්‍රශස්ත මට්ටමේ අඩුපාඩුවලින් තොර චක්‍රලේඛයක් සකස් කිරීම සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරමින් ලංකා ගුරු සේවා සංගමය පාසල් ප්‍රජාව නොමඟ යවමින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජගත කරමින් සිටින අයුරු දක්නට ලැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මවුපියන්ගෙන් මුදල් එක්රැස්කිරිම සම්බන්ධයෙන් විරෝධතාව පළකරන මෙම කණ්ඩායම් සිදුකළ යුත්තේ, ලැබී ඇති අවස්ථාව ද ප්‍රයෝජනයට ගනිමින් පවතින ක්‍රමවේදය වෙනුවට තමා සතුව ඇති ප්‍රශස්ත ක්‍රමවේදයන් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කොට ශක්තිමත් ව චක්‍රලේඛයක් සකස් කිරීමට දායක වීම මිස, දේශපාලන වාසි අරමුණු කරගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.