කොන්ද පණ තියෙන නායකයෙක් ඉදිරියේ දී බිහි වෙන්න රතන හිමිගෙන් ප්‍රාර්ථනයක්

කොන්ද පණ තියෙන නායකයෙක් ඉදිරියේ දී බිහි වෙන්න රතන හිමිගෙන් ප්‍රාර්ථනයක්

January 23, 2019   07:22 pm

මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු නොව වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

වජිර ධර්මකීර්ති මහතා විසින් රචිත කාවන්තිස්ස වැඩපිළිවෙල ග්‍රන්ථය එලිදැක්වීම ඊයේ(22) පස්වරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී සිදුකෙරුණි.

එම අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.

ජනතාව බලගන්වන ව්‍යපාරයක් ගම් මට්ටමින් ආරම්භ කර ඇති බවත්, ඒ නිසා වස විෂ නැති ආහාර අද වන විට ගම්වල හැදෙමින් පවතින බවත්, එම වැඩ පිළිවෙල කිසිවිටෙක නැවතී නැති බව ද රතන හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

කොන්ද පණ තියෙන නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී බිහි වේවා යන්න තම බලාපොරොත්තුව බව ද උන්වහන්සේ සඳහන් කළේය. 

එමෙන්ම ජනාධිපති ගැන තමාගෙන් අසන බවත්, තමා ජනාධිපති කරන්නේ වැඩපිළිවෙලක් වන අතර, එයට සම්මුතියක් හදා ගැනීමට නොහැකි නම් නිහඬ විය හැකි බව ද පැවසිය.

එනිසා රජ කිරීමට බලාපොරොත්තු වන්නේ අරමුණක් සහ වැඩපිළිවෙලක් වන අතර, එය සමාජ ගත කළ විට පංචස්කන්ධයක් සොයා ගැනීමට හැකි බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ බලවේගයක් රැල්ලක් හැදුණම නායකයින් බිහි කර ගත හැකි බව ද රතන හිමියන් පැවසීය.

මේ අතර, අපේ මිනිසුන් කල්පනා කරන්නේ ස්වයංව නැඟී සිටිමට නොව, ආණ්ඩුව විසින් යම් දෙයක් සිදු කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, දයාසිරි ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය සේවකයින්ගෙන් කී දෙනෙකු සවස 4.30 න් පසුව වැඩ කිරීමට කැමති ද යන්න මෙහිදී ජයසේකර මහතා ප්‍රශ්න කර සිටියේය.

තමන් ස්වයංව නැඟී සිටිමට හැකි වාතාවරණයක් ගැන කිසිවෙකු කල්පනා නොකරන බව ද පැවසු ඒ මහතා, එය රටට සිදුව ඇති විනාශයක් බව ද පැවසිය.