ලංකාවේ ප්‍රථම වරට කෘතිම වැසි ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ

ලංකාවේ ප්‍රථම වරට කෘතිම වැසි ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ

January 23, 2019   05:13 pm

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ යටතේ වියලි කාලගුණයක් පවතින අවස්ථා වලදී වළාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට පියවර ගනු ලැබේ.

තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ගුවන් යානා සැපයීමට එකඟ වී තිබේ.

ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා පැවසූවේ වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථා වලදී ගුවන්යානා දෙකක් මගින් වලාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙන බවයි.

මේ සදහා තායිලන්ත රජය විසින් තාක්ෂණික ඥාණය ලබාදෙන බවත් වියළි කාලවලදී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සඳහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ගේ වළාකුළු ඇති කර මෙම කෘතීම වැසි ඇති කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

ප්‍රථම වතාවට මෙසේ ලංකාවේ මෙවැනි ක්‍රමයක් ඇති කරන බවත් එම නිසා අද අත්සන් කළේ ඓතිහාසික ගිවිසුමක් වන බවත් ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා පැවසුවේ, ජලවිදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට කෘතිම වැසි ඇති කිරීමේ කාර්යයට ගුවන්යානා ලබාදීම මගින් මෙම නව ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීමට ගුවන් හමුදාවට හැකිවන බවත්, ඒ සඳහා ඉදිරීයේදී ගුවන් යානායක් නවීකරණය කරන බවත්, එම ගුවන් යානය මගින් වළාකුළු අතරට රසායනික ද්‍රව්‍යයන් එකතු කිරීමෙන් කෘතීම වැසි ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉදිරියේදී මෙම කාර්යය සඳහාම වෙන්කරන ලද ගුවන්යානා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අදහස් කරන බවද, තාප බලාගාර වෙනුවට ජලවිදුලිය නිෂ්පාදනය කිරිම සඳහා අද දින මේ අත්සන් කරන ලද ගිවිසුම ඓතිහාසික ගිවිසුමක් බවත්, විදුලි ජනනයට අමතරව නියගය පවතින අවස්ථාවලදී රටේ කෘෂිකර්මාන්තය සඳහාද මෙම ක්‍රමය යොදාගත හැකි බවත් පැවසීය.