ආණමඩුව සති පොල වෙළදුන්ගෙන් බලෙන් පිරිසක් මුදල් එකතු කරලා

January 11, 2019   04:05 pm

ආණමඩුව සති පොළ භුමියේ වෙළදුන්ගෙන් බලෙන් පොළ කුලි එකතු කිරීමට සම්බන්ධව පිරිසට එරෙහිව  ආණමඩුව පොලීසියට පැමිණිලි කල බව ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පවසයි. 

පසුගිය සිකුරාදා (04) දින පැවති සති පොළ භුමියට කඩා වැදි ඇති පිරිසක් එම භුමියේ වෙළඳාම් කරමින් සිටි වෙළඳුන්ගෙන් පොළ කුලි අයකරමින් සිටින බවට ලැබුන තොරතුරත් සමඟ අදාල ස්ථානයට ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිසක් ගොස් තිබේ.

පසුව එම අදාල කණ්ඩායමට විරෝධය පෑමත් හා පාර්ශව දෙක අතර ගැටුමක් ඇති වන්නට ගිය අවස්ථාවේ ආණමඩුව පොලීසිය මැදිහත්ව ගැටුම්කාරි තත්ත්වය වළක්වා ආරක්ෂාව තර කර ගැටුමක් ඇති වීම වලක්වා තිබු බවත් පොලිසිය පවසයි.   

ආණමඩුව සති පොළ ටෙන්ඩරය 2018 වසරේ දෙසැම්බර් 31  දිනෙන් අවසන් ඇති අතර එය නැවත ටෙන්ඩර් නොදැමීමට ආණමඩුව සභාව තීරණය කර තිබුනි.  

නමුත් එයට පෙර ටෙන්ඩරය ලබා ගත් පිරිස් විසින් ඔවුන්ට ටෙන්ඩරය නොලැබුනද බලහත්කාරයෙන් පොළ කුලී එකතු කිරීම 4 වන දින සිදුකරමින් තිබියදි ප්‍රාදේශීය සභාපතිවරයා වහාම එම ස්ථානයට ගොස් ඇති බවද කියයි. 

එහිදි පැරණි ටෙන්ඩර්කරුවන් හා සභාපතිවරයා ඇතුළු සභාවේ නිලධාරින්ට බාධාකර ඇති බව ද වාර්ථාවෙයි.   

පසුව ආණමඩුව පොලීසිය වහාම අදාල ස්ථානයට පැමිණ පැරණි ටෙන්ඩර්කරුවන් ඉවත් කර සභාවේ නිලධාරින්ට වෙළඳුන්ගෙන් පොළ කුළි එකතු කිරීම සඳහා පොලිස් ආරක්ෂාව ලබා දුන් බව පොලිසිය පවසයි. 

මේ සම්බන්ධව කල විමසිමේදි ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පවසා සිටියේ පැරණි ටෙන්ඩරය අවසන් වු විට සභාව නැවත පොළ ටෙන්ඩර් නොදැමීමට තීරණය කල බවයි. 

මේ වන විට පොළ ඉදිකරමින් තිබෙන නිසා මාර්ගය දෙපස දමා තිබෙන්නේ ඒ හේතුවෙන් බවත් පොළ ඉදි කිරිම් අවසන්වන තුරු මේ ආකාරයට  පවත්වන්න සිදුවන බවත් පැවසිය.  

වෙළඳුන්ගෙන් මේ පැරණි ටෙන්ඩර්කරුවන් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් එකතු කර තිබෙන බවත්  ඉදිරියේදි මේ ගැන අධිකරණයට යාමට සුදානමින් සිටින බවත් ඔහු පැවසීය. 

නමුත් ආණමඩුව පොලීසිය පවසා සිටියේ ප්‍රාදේශීය සභාව පැමිණිලි දමා තිබීමත් පැරණි ටෙන්ඩර්කරු පුද්ගලික ඉඩමක සති පොලේ කොටසක් පවත්වාගෙන යාමක් ගැන ගැටළු මතුව ඇති නිසා එයට නීත්‍යානුකූල විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි.