නැත්ත ඇත්ත කළ විමල්ට ජවිපෙට වන්දි ගෙවීමට සිදුවෙයි
January 11, 2019 01:19 pm
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.
විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ නමින් ප්රකාශයට පත් කළ “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා මහතා ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් අධිකරණය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී තමා විසින් පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ මහතා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ ග්රන්ථය ප්රකාශයට පත් කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අධිකරණයට ප්රකාශ කර තිබුණි.
නඩුව දීර්ඝ කාලයක් විභාගය කළ කොළඹ වාණිජ මහාධිකරණය අද එහි තීන්දුව ලබාදෙමින් ප්රකාශ කර ඇත්තේ බුද්ධිමය දේපල පනත යටතේ “නැත්ත වෙනුවට ඇත්ත” ග්රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශ මහතාට නොව ටිල්වින් සිල්වා මහතාට බවයි.
ඒ අනුව ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 1 ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්රනාන්දු මහතා නියෝගය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.