ජාලිය අත්අඩංගුවට ගන්න යළි වරෙන්තු
January 9, 2019 11:31 am
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යලිත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත වන විට ඔහුගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ සැකකරුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විවෘත වරෙන්තු නිකුත් කල බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ.
සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා මෙන්ම ඔහුගේ බිරිඳ හා ඥාති සොහොයුරියද මේ වන විට විදෙස්ගත වී අධිකරණය මග හරිමින් සිටින බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකල කරුණු දැක්වීම සලකා බලමින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.
මේ වන විට අමෙරිකාවේ සිටින ජාලිය වික්‍රමසූරිය මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී ඇත්තේ.
මෙහිදී ජාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ සිය සේවා දායකයාට ද ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුවද අමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කල සමයේ තිබූ තානාපති වරප්‍රසාද ඉවත් කල බවට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමෙරිකානු රජයට දැනුම් දීම හේතුවෙන් සැකකරුට එරෙහිව පවරා ඇති නඩු කටයුත්ත අවසන් වන තුරු ඔහුව ශ්‍රී ලංකාවට එවීමට එරට බලධාරීන් පියවර නොගන්නා බවයි.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කල සමයේ තානාපති කාර්යාලය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 32,000 ක මුදලක් සාපරාධි ලෙස පරිහරණය ඇතුළු චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
