මහින්දගේ මන්ත්‍රී ධූරයට මොකද වෙන්නේ?

මහින්දගේ මන්ත්‍රී ධූරයට මොකද වෙන්නේ?

December 18, 2018   04:53 pm

මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධුරය පිළිබඳ අද(18)පාර්ලිමේන්තුව තුළ දී විවිධ මත පළ විය.

එහිදී සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වු පක්ෂයෙන් ඉවත්ව මාසයක් ගත වන විට ඔහුට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ඉබේම අහෝසි වන බව පැවසීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ද මේ බව පවසා තිබේ.

එහි සම්පූර්ණ සටහන මෙසේ දැක්වෙයි.

“සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) වගන්තියට අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පක්ෂයෙන් ඉවත් වී මාසයක් යනවිට ඔහුට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වන බවයි.

මේ නිසා, පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගේ මන්ත්‍රී ධූරය අහෝසිවන බවත් ඔවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාවක් නොමැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුව පිට අයට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර ආහෝසි වී තිබෙන හෙයින් ඔවුන්ට මේ වනවිට පාර්ලිමේන්තුවේ රැඳී සිටීමේ අයිතියක් නොමැති බවයි.

මෙයට පිළිතුරු ලබාදෙමින් කතානායක කරූ ජයසූරිය මහතා පැවසූවේ ඒ පිළිබඳව සොයා බලන බවයි.

යම් හෙයකින් මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නොමැති නම් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසිවීමේ ඉඩක් නොමැත. නමුත්, ඔවුන් පසුගියදා මාධ්‍ය ඔස්සේ ජනතාවට පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා බවයි.“