අම්පාරේ පාසල් දෙකක ප්‍රශ්න පත්‍ර බෙදා දීම ප්‍රමාදයි

අම්පාරේ පාසල් දෙකක ප්‍රශ්න පත්‍ර බෙදා දීම ප්‍රමාදයි

December 11, 2018   12:20 pm

අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක සහ අම්පාර ඞී.එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක අද දින (11) උදය වරුවට නියමිත සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර ලබා දී නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.

මෙය ඉතා බරපතළ තත්වයක් බවත්, විභාගයට සූදානම් වී පැමිණි සිසුන්ට නියමිත වේලාවට ප‍්‍රශ්න පත‍්‍රය ලබා නොදීමෙන් ඔවුන් බරපතළ මානසික පීඩාවකට පත්වන අතර, එය තරගකාරී විභගයකට මුහුණ දෙන්නන්ට සිදුවන අකටයුත්තක් බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද පෙ.ව. 8.30 ට ආරම්භ වීමට නියමිත සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර අදාළ සිසුන්ට ලබා දී ඇත්තේ පෙ.ව. 10.00 ට පසුව බවද ඔවුන් සඳහන් කරයි.

මෙය විභාග සංවිධානයේ දී ඇති වී ඇති බරපතළ අඩුපාඩුවකි. මෙය සුළුකොට තැකිය නොහැකි කරුණක් වන බැවින් මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක් වන බව ද ඔවුන් සඳහන් කරයි.

ජාතික විභාගවලදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම කණගාටුදායකය වන බවත්,  පසුගිය වකවානුවේද විභාග සංවිධානයේ දී මෙවැනි ගැටලූ මතු වූ බැවින් එවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලා ගැනීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද ලංකා ගුරු සංගමය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කරයි.

අම්පාර ඩි.එස්.සේනානායක ජාතික පාසැලේ ළමන් 150 දෙනෙකු සහ අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ ළමුන් 145 දෙනෙකු මෙම තත්ත්වයට මුහුණ දී ඇතැයි අප වාර්තාකරු ද සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අම්පාරට ලැබිය යුතු ප්‍රශ්න පත්‍ර මොණරාගල ප්‍රදේශයට මාරැවිම නිසා මෙම තත්ත්වය උදාවි ඇති බව අධ්‍යාපන දෙපාර්මේන්තුවේ බලධාරින් පවසා සිටියේය.