රජයේ උත්සව-රැස්වීම් පෞද්ගලික තැන්වල පැවැත්වීම් සපුරා තහනම්

රජයේ උත්සව-රැස්වීම් පෞද්ගලික තැන්වල පැවැත්වීම් සපුරා තහනම්

December 6, 2018   07:54 pm

රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතනවල දී පමණක් සිදු කල යුතු බව සියලු රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලූම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන්  සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව   ජනාධිපතිවරයා දැනුම් දී ‍ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනපතිගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මඟින් සියලූ රාජ්‍ය නිලධාරින්ට අද (06) මේ බව දන්වා තිබේ.

මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබිය දී, ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.