මැතිවරණයක් ඉල්ලා විරෝධතා පා ගමනින් කොළොන්න නගරයට

December 6, 2018   03:04 pm

''ජනතා පරමාධිපත්‍ය සුරකින්න මහ මැතිවරණයක් අපිට දියව්'' යන තේමාව යටතේ කොළොන්න ප්‍රාදේශීය සභාව මඟින් විරෝධතාවක් පැවැත්විය. 

අද(06) පෙරවරු 10ට පමණ කොළොන්න නව නැලිය පන්සල අසලට විවිධ ප්‍රදේශ වලින් ජනතාව එක්රැස් වූ අතර මේ සඳහා ඇඹිලිපිටිය මෙන්ම කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන කණ්ඩායම එක්වී සිටිනු දක්නට හැකි විය. 

කොළොන්න ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාගේ පැමිණීමත් සමඟ විරෝධතාවය ආරම්භ විය. 

විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ කොළොන්න නගරයට විරෝධතා පා ගමනින් පැමිණෙන ලදී. 

"අපි උපන් රට ඕනමයි රැක ගන්නට, ඒක විකුනන්නට එපා ඔබ මිය ගියත් දෙන්නට, වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවනු, අපිට ඕන මැතිවරණයක්, එ.ජා.ප ජේ.වී.පී. හවුල පරදමු" වැනි විරෝධතා වැකි කියමින් කොළොන්න නගරය හරහා කොලොන්න ප්‍රාදේශීය සභාව අසලට පැමිණ මන්ත්‍රීවරුන් සත්‍යග්‍රහයක් සඳහා වාඩි විය. 

කොළොන්න ප්‍රාදේශීය සභාව ඉදිරිපිට තැනූ වේදිකාවක මෙම සත්‍යග්‍රහය ආරම්භ විය. 
    
මේ සඳහා කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.රූපසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ මහතා, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා, කොළොන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ඉඳුනිල් රාජපක්ෂ, ප්‍රසාද් උදය කුමාර, ඉන්ද්‍රරත්න, ඔමිල බුද්ධික, සමන්ත, සුමනපාල, පද්මා පතිරන, තුසිත ලියනගේ යන මන්ත්‍රීවරුන් සත්‍යග්‍රහය සඳහා වාඩිවී සිටිනු දක්නට හැකි විය. 
    
සත්‍යග්‍රහය පැවැත්වෙන කොළොන්න ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයට එක් වූ පිරිස් කෑ ගසමින් විරෝධතාවය දැක්වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

එසේම මෙම සත්‍යග්‍රහය මැතිවරණයක් නිවේදනය කරන තුරු අඛණ්ඩව සිදු කරන බව මන්ත්‍රීවරුන් පැවසීය.