රනිල් ජනපතිව ආරක්ෂා කළ හැටි නලීන් කියයි

රනිල් ජනපතිව ආරක්ෂා කළ හැටි නලීන් කියයි

December 5, 2018   08:16 pm

පසුගියදා රෝ ඔත්තු සේවය තමා ඝාතනය කරන්නට කටයුතු කරනවා යැයි ජනාධිපති මත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව සමඟ ප්‍රශ්නයක් ඇති කරගත් අවස්ථාවේදී ඉන් සති දෙකකට පමණ පසු ඉන්දියාවේ සංචාරයකට ගිය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ආරක්ෂා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. 

වැඩිදුරටත් අදහස් පළ කළ නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

“මන්ත්‍රීවරු 225 දෙනා කිව්වත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබානොදෙන බව සිරිසේන ජනාධිපතිවරයා කියනවා. එතුමා සමඟ සිරිසේන උන්නැහේ තුළ පවතින වෛරය පිළිබඳව අපට පුදුමයි සිරිසේන ජනාධිපතිට ඔය තැනට එන්න ඉඩ හදලා දුන්න රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාට ‍දොස් නගා නැහැ. 

අපිත් පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට ඇතැම් අවස්ථාවල ජනාධිපති විවේචනය කරද්දී එසේ නොකරන ලෙස එතුමා අපටත් තරවටු කොට තිබෙනවා. පසුගියදා රෝ ඔත්තු සේවය තමා ඝාතනය කරන්නට කටයුතු කරනවා යැයි ජනාධිපති සිරිසේන අපේ හිතමිතුරු අසල්වැසි රටවන ඉන්දියාව සමඟ ප්‍රශ්නයක් ඇති කරගත් අවස්ථාවේ, ඉන් සති දෙකකට පමණ පසු ඉන්දියාවේ සංචාරයකට ගිය රනිල් වික්‍රමසිංහ මහතා සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කළා. 

දැන් සිරිසේන ජනාධිපතිවරයා රට හමුවේ මාධ්‍ය තුළින් රනිල් වික්‍රමසිංහ මහතා විවිධ චෝදනා ඉදිරිපත් කළත් අපේ අගමැතිතුමා ඉවසිලිවන්ත බුද්ධිමත් නායකයෙකු හැටියට කටයුතු කරනවා සේම කොතැනකදී හෝ ජනාධිපතිට දොස් නගා ඇත්දැයි ඔප්පු කරන ලෙස අපි අභියෝග කරනවා.“