තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි

තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි

December 5, 2018   02:57 pm

නව සභාපතිවරයා පත්වීමෙන් පසුව පැවැත්වූ තංගල්ල නගර සභාවේ ප්‍රථම අයවැය අද(05) සභාගත කළ අතර එහිදී වැඩි ඡන්ද තුනකින් එය පරාජයට පත්විය.

2019 වර්ෂය සඳහා මෙම අයවැය යෝජනාව ඉදිරිපත් කර තිබිණි.  

තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරු හත් දෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක් අයෙක්ද ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරු දෙදෙනාද අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කළහ.  

නගර සභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි, එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් වන එම්.ඒ.එම්.ශිරාස්, ගනේෂ් ප්‍රියංකර, ඒ.ඒ.රංජනී ශ්‍රියාණි, කේ.එම්.සී.ඩී.ජයසුන්දර, එම්.එල්.ජේ.චින්තා සහ මල්ෂා තරංගනී යන අය අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළහ.

පොදුජන පෙරමුණෙහි නාගරික මන්ත්‍රීවරුන් වන විමල් හේවා දුනුවිල, ගයාන් සමිද්ද, යද්දෙහිගේ ඩග්ලස්, ඩබ්ලිව්.පී ආරියදාස, කේ.එච්.ගුණරත්න, ශාන්ත අන්ද්‍රාහැන්නදි සහ ලාංකාදීපනි මුතුකුමාරණ යන අය අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කළහ. 

ජනතා විමුක්ති පෙරමුණෙහි නාගරික මන්ත්‍රීවරුන් වන චින්තක කැළුම් සහ පී.එල්.බී. ජයන්ත යන දෙදෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතාත් අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කළහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම මන්ත්‍රීවරයා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.