අලුත් බද්දක් නිසා පාසැලක් ගිනිතබයි
සයුරෙන් එතෙර

අලුත් බද්දක් නිසා පාසැලක් ගිනිතබයි

December 5, 2018   10:05 am

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ ක්‍රියාත්මක කහ කබා විරෝධතාව අතරතුර පාසැලකට ගිනිතබා තිබේ. 

මේ අතර විරෝධතාවට මුල්වූ ඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමටත් එරට අගමැතිවරයා ඊයේ(04) කටයුතු කර තිබේ. 

ඉන්ධන මිල සඳහා අළුතින් පැනවූ බද්දක් හේතුවෙන් ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑමට එරෙහිව ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වෙයි.  

විරෝධතා අතරතුර ජීවිත හානි කිහිපයක්ද වාර්තාවූ අතර පොදු දේපළ රැසකටත් දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වෙයි.  

පසුගිය දිනවලදී එම විරෝධතාවට සිසුන්ද සම්බන්ධ වූ අතර ප්‍රදේශ කිහිපයකදී ගැටුම් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මේ අතර මර්සෙයි නගරයේ පාසැලකට ගිනිතබා ඇති අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට එක්කර තිබේ. 

ගින්න පාලනය කිරීමට ගිනිනිවීම් සේවකයින් මේ වන විට පියවර ගෙන ඇතත් ඉන් පාසැලට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් සඳහන්ය. 

මේ අතර පවතින ප්‍රචණ්ඩකාරී වාතාවරණය සමනය කිරීමේ අරමුණින් විරෝධතාවට මුල්වූ ඉන්ධන බද්ද මාස හයකට පමණ අත්හිටුවීමට එරට අගමැතිවරයා පියවර ගෙන තිබේ.