මරණ දඬුවමට නියම වු සිරකරුවන්ගේ නාම ලේඛනය අද ජනපති අතට

මරණ දඬුවමට නියම වු සිරකරුවන්ගේ නාම ලේඛනය අද ජනපති අතට

July 12, 2018   10:30 am

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛනය අද(12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට සූදානම් බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

ජනාධිපතිවරයා පසුගියදා කල නියෝගයකට අනුව අදාල සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ අමාත්‍යංශය විසින් සකස් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිර දඩුවම් ලබමින් සිටියදීත් විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබා දීමට තීරණය කල බව ජනාධිපතිවරයා ඊයේ(11) ප්‍රකාශ කළේය. 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පෙරේදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබුණි.

මේ අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමට ඉදිරි දින කිහිපය තුළ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කලේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග රැසක් පවතින බවයි.

විශේෂයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන වදක තනතුර මේ වන විටත් පුරප්පාඩු වී ඇති බැවින් එම පුරප්පාඩුව කඩිනමින් පිරවිය යුතු බව නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේය.