අභයාරාමයට දේශපාලනය තහනම්
July 14, 2017 11:41 am
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
2016 පෙබරවාරි මස ගොනුකර ඇති මෙම පැමිණිල්ල තුළින් අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන් බැතිමතුන්ට විශාල අසාධාරණයක් සිදුවන බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබිණි.
ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය විසින් අභයාරාම විහාරස්ථානයේ දේශපාලන කටයුතු නවත්වන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මෙම අතුරුතහනම් නියෝගය පනවා තිබේ.
පැමිණිල්ලේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 20 වන දිනට කල් තබා ඇත.
