කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරය-අපරාධකරුවන්ට අනුබල දුන් අයෙක් දැලේ

කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරය-අපරාධකරුවන්ට අනුබල දුන් අයෙක් දැලේ

March 28, 2017   05:01 pm


කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් වෑන් රථය සොරා ගැනීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 27 වන දින උතුරු කළුතර පොලිස් වසමේ එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ දෙකකට ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදී හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම  බන්ධනාගාර බස් රථයට වෙඩිතැබීමට අපරාධකරුවන් විසින් උපයෝගි කරගත් වෑන් රථය, ඉකුත් පෙබරවාරි මස 06 වන දින සීදුව ප්‍රදේශයේදී සොරා ගැනීමට අනුබලදීම සම්බන්ධයෙන් මෙලෙස සැකකරුවෙකු ඊයේ (27) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැලියගොඩ බස් නැවතුම්පළ අසළදීය.

සැකකරු වයස අවුරුදු 34 ක් වූ ජගත් ඉන්දික කුමාර නොහොත් පොඩී නමැති හික්කඩුව ගෙදර, 06 කණුව අසළ, කුඹුගොඩ ආර, ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

මෙම සැකකරු මීට පෙරාතුව පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද, පුද්ගයෙකු  පැහැරගෙනයාම, මුදල් බලෙන් ලබා ගැනීම, ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය මගින්ද, ටිපර් රථයක් සොරාගැනීම සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය මගින්ද අත්අඩංගුවට පත්වූවෙකු බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරු අද දිනයේ (28) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.