ජයලලිතාගේ මරණය සැක සහිතයි?

ජයලලිතාගේ මරණය සැක සහිතයි?

December 19, 2016   11:46 am


සටහන
සුරෝෂන ඉරංග

මුළුමහත් තමිල්නාඩුවම කම්පාවට පත්කරමින් ඉකුත් 5 වැනිදා තමිල්නාඩුවේ අම්මා සිය අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියාය.

ඒ කිහිප දිනක සිට ඇය පෙළෙමින් සිටි අසනීප තත්ත්වය හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටින විටය. ඇගේ නික්ම යාමට පැය කිහිපයකට පෙර සිටම තමිල්නාඩුවේ හදවත නැවතී සියළු සේවා අඩාල වී තිබුණි. මහජනයා ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහල අවට හා වීදි පුරා රැස්වී ඔවුන්ගේ අම්මාගේ සුවය ප්‍රාර්ථනා කළහ. එහෙත් දහස් ගණන් ජනතාවගේ එම ප්‍රාර්ථනා සුළඟට මුසු කරමින් තමිල්නාඩුවේ අම්මා සිය අවසන් නින්දට වැටුණාය.




ඇය මිලියන හැත්තෑවක් පමණ වන ජනගහනයක් වෙසෙන තමිල්නාඩුවේ “අම්මා” හෙවත් ජයලලිතා ජයරාම්ය. මියයන විට තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරිය ලෙස කටයුතු කරමින් සිටි ඇය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකාවද වේ. 1948 වර්ෂයේ පෙබරවාරි මස 24 වන දින උපත ලැබූ ජයලලිතා මියයන විට 68 වන වියේ පසු වූවාය. තමිල්නාඩු ජන හදවත් අතික්‍රමණය කළ ඇය එදාමෙදා තුර තමිල්නාඩුව තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම පසුවූ තැනැත්තිය බවට අවිවාදිතය. එනිසාම ඇය වෙනුවෙන් සිය දිවි පිදීමට පවා තමිල්නාඩු ජනයා දෙවරක් සිතන්නේ නැත.

 දහසකුත් අභියෝග හමුවේ නොසැලෙමින් සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් සැපයූ ඇය ඉන්දීය දේශපාලනය තුළ පමණක් නොව සමස්ත කාන්තා දේශපාලන ඉතිහාසයේ ද නොමැකෙන සලකුණකි.
ජයලලිතාගේ පියා ජයරාමන්ය. ඔහු මයිසූර්හි මහරාජාගේ මාළිගාවේ සේවකයෙකි. ඇගේ මව සන්ධ්‍යා නම් වූ නිළියකි. ජයලලිතාගේ ළමා වියේදී මව ජයරාමන් හැරදමා ජයලලිතා ද රැගෙන මදුරාසියට පැමිණෙන අතර ඉන් අනතුරුව දියණිය කන්‍යාරාමයකට භාරකර එම්.ජී. රාමචන්ද්‍රන් නැමැති නළුවා සමඟ රඟපෑමට යොමුවී තිබේ. කන්‍යාරාම පාසලේ අධ්‍යාපනයෙන් පසුව ජයලලිතා ද සිය මව අනුගමනය කළ මග අනුගමනය කරමින් රාමචන්ද්‍රන් සමඟ තම රංගන දිවියට අත්පොත් තැබුවාය. එසේ ආරම්භ වූ රාමචන්ද්‍රන් සහ ජයලලිතා අතර සම්බන්ධය ජයලලිතා රාමචන්ද්‍රන්ගේ අනියම් බිරිඳ බවට පත්වන තෙක්ම දුරදිග ගියේය.



එසේ සිනමාවට පිවිසෙන ජයලලිතා රිදී තිරයේ සුපිරි තාරකාවක් විය. ඒ හැටේ දශකයේ මැද භාගයේ සිට හැත්තෑව දශකයේ මැද භාගය තෙක් දෙමළ සිනමාව තුළ ජනප්‍රියත්වයේ කිරුළ පැළඳීමට ජයලලිතා සමත් වූ බැවිනි.  ඇය සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 12 දීය. එකල දෙමළ සිනමාවේ වීරයා වූ එම්. ජී. රාමචන්ද්‍රන් සමඟ ප්‍රධාන චරිතයක් රඟපෑමට ඇය එක්වන්නේ “ආයිරත්තිල් ඔරුවන්”  චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදෙමිනි. එවිට ඇගේ වයස අවුරුදු 16 කි. දෙමළ චිත්‍රපට 90කට පමණ සිය රංගන දායකත්වය ලබා දුන් ජයලලිතා දෙමළ භාෂාවද ඇතුළුව විවිධ භාෂාවන්ගෙන් නිෂ්පාදනය වූ චිත්‍රපට 140කට පමණ රංගනයෙන් එක්වූ බව වාර්තා වේ. ඒ අනුව සැලකීමේ දී දේශපාලන කෙළිමඬල මෙන්ම රිදී තිරයත් ඇය සිය වසඟයට ගත් බව රහසක් නොවේ.

ඉන්දියාව තුළ මුල් බැස ගෙන ඇති කුලවාදයට අනුව ජයලලිතා අයත් වූයේ ඉහළ වංශයකටය. ඇය අයත් වූ කුලය වන්නේ වෛෂ්ණවයිතෙ බ්‍රාහ්මණ අයින්ගාර් වංශයයි. ඇගේ මව් පාර්ශවය හා පිය පාර්ශවය සැලකීමේ දී මුත්තණුවෝ මයිසෝරය නමින් හඳුන්වනු ලැබූ කර්ණාටක ප්‍රාන්තයට පිටස්තරින් පැමිණ පදිංචි වූවන් විය. ජයලලිතා උපත ලබන්නේ කර්ණාටක ප්‍ර‍දේශයේ මන්ද්‍යා දිස්ත්‍රික්කයේ  පණ්ඩුවාපුරයේ මෙලුකොටේහිදීය. එනිසා ඇය කණ්ණඩ කාන්තාවක් ලෙස බොහෝ දෙනා විසින් හඳුන්වන ලදි.

 මේ හේතුවෙන් ඇයට විවිධ ප්‍රශ්න ගණනාවකට මුහුණ පෑමට ද සිදුවිය. එවැනි එක් අවස්ථාවක් වන්නේ 1973 වසරේදී තමිල්නාඩු හා කර්ණාටක ප්‍රාන්ත අතර ජලය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවූ අවස්ථාවේදී ජයලලිතා සඟරාවකට සිදු කරනු ලබන ප්‍රකාශයක් හේතුවෙන් ඇයට මුහුණ පෑමට සිදුවූ තත්ත්වයයි. එනම් ඇය ප්‍රකාශ කරනු ලබන්නේ කරණාටක ප්‍රාන්තයේ ඉපදුණද  ඇය දෙමළ කාන්තාවක් වන බවයි.  ඇගේ මෙම ප්‍රකාශයත් සමඟ උරණ වන කණ්ණඩයේ එක්තරා ජාතිවාදී කණ්ඩායමක් ඇය චිත්‍රපටයක රූගත කිරීම්වල නිරත වෙමින් සිටි චිත්‍රාගාරයකට කඩා වැදී තර්ජන එල්ල කරනු ලබන්නේ ඇය කළ ප්‍රකාශයට සමාව ගත යුතු බව පවසමිනි. එහෙත් එම තර්ජන කිසිදු ගණනකට නොගත් ජයලලිතා පවසන්නේ තමා වරදක් කර නොමැති බැවින් සමාව ගැනීමේ අවශ්‍යතාවක් ද නොමැති බවයි. 



එසේම 1970 වර්ෂයේ දී බැංගලෝරයේ පැවති  එක්තරා  ප්‍රදර්ශනයකට ඇගේ නර්තන කණ්ඩායමක් සමඟ නර්තනයක් ඉදිරිපත් කිරීමට ජයලලිතා පොරොන්දු වී සිටියාය. එහෙත් චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් අවසන් මොහොතේදී එයට සහභාගී වීමට ඇයට නොහැකි විය. කෙසේ වුවත් මෙයින් කෝපයට පත්වූ කණ්ණඩ චලුවාලි වටාල් පක්ෂයේ නායක වටාලි නාගරාජ් ඇගේ මෙම ක්‍රියාව හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. ජයලලිතා විසින් නොහොබිනා ක්‍රියාවක් සිදුකළ බවට ඔහු විසින් ප්‍රකාශ කරන ලදි.

රෞද්‍ර පුද්ගලයෙකු වූ නාගරාජ්ගේ මෙම ප්‍රකාශයට ජයලලිතා ලබා දුන්නේ අභියෝගාත්මක පිළිතුරකි. එනම් තමා කණ්ණඩ ප්‍රදේශයේ උපත ලැබුව ද තමා දෙමළ කාන්තාවක් මිස කණ්ණඩ කාන්තාවක් නොවන බව ඇය පවසා සිටියාය. එයින් කෝපයට පත් වූ නාගරාජ් ජයලලිතාට යළි කර්ණාටක ප්‍රදේශයේ පස් නොපාගන ලෙසට තර්ජනය කර සිටියේය. එහෙත් එම තර්ජනයට ද අභියෝගාත්මක පිළිතුරත් සපයන ජයලලිතා ප්‍රකාශ කර සිටින්නේ අවශ්‍ය වුවහොත් තමා නැවත කර්ණාටක ප්‍රදේශයට පැමිණෙන බවයි. 

මෙයින් සති කිහිපයකට පසුව “ගංගා ගෞරි“ නැමැති චිත්‍රපටයේ රූගත කිරීමක් සඳහා ජයලලිතා බැංගලෝරයේ චිත්‍රාගාරයකට පැමිණි අවස්ථාවේ දී නාගරාජ් ඇය වෙත මැර පිරිසක් එවා ඇය දෙමළ කාන්තාවක් බවට සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙසට නැවතත් තර්ජනය කර සිටියි.



එහිදී ඔහු කියා සිටිනු ලබන්නේ තමා දෙමළ කාන්තාවක් බවට ඇය කළ ප්‍රකාශය හේතුවෙන් කර්ණාටක ප්‍රාන්තයේ ජනයා සිත් තැවුලට පත්වී සිටින බවය. එහෙත් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ ජයලලිතා නැවතත් අවධාරණය කර කියා සිටින්නේ තමා කණ්ණඩ කාන්තාවක් නොව දෙමළ කාන්තාවක් වන බවයි. කෙසේ වුවත් මෙම මැර ප්‍රහාරයෙන් ජයලලිතාව මුදවා ගැනීමට පොලීසිය මැදිහත් වේ. ඒ අනුව පැවසිය හැකි වන්නේ ඕනෑම අවදානම් සහගත අවස්ථාවකදී පවා තමා දෙමළ වන බව පිළිගැනීමට ජයලලිතා කිසිවිටෙක පසුබට නොවූ බවයි. විශේෂයෙන්ම එම ප්‍රකාශය ඇගේ අව්‍යාජභාවය පෙන්නුම් කරනු ලබන සුවිශේෂී සාධකයක් වශයෙන් ද පෙන්වා දිය හැකිවේ.

ජයලලිතා දේශපාලන කරළියට හඳුන්වා දෙනු ලබන්නේ ද එම්.ජී. රාමචන්ද්‍රන් විසිනි. ඒ අනුව දේශපාලනයට පිවිසෙන ජයලලිතා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ප්‍රචාරක සහ පරිපාලන ලේකම් ලෙස කටයුතු කරනු ලබයි. ඇය 1984 වර්ෂයේ දී රාජ්‍ය සභා මන්ත්‍රීවරියක් බවට පත්වේ. 1987 වසරේදී සිදුවන රාමචන්ද්‍රන්ගේ මරණයෙන් පසු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ බෙදීමක් හටගන්නා අතර ඒ සඳහා බලපානු ලබන්නේ රාමචන්ද්‍රන්ගේ බිරිඳ වන ජානකී සහ ජයලලිතා අතර ඇතිවන අර්බුදයයි.

කෙසේ වුවත් එයින් ජයලබන ජයලලිතා පක්ෂය එක්සත් කිරීමට කටයුතු කරනු ලබයි. එසේම 1989 වසරේදී තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත්වන ජයලලිතා 1991 වසරේදී මහ මැතිවරණය ජය ගැනීමට ද සමත් වේ. අනතුරුව මහ ඇමති ධූරයට පත්වන ඇය 1991 වසරේ සිට 1996 වසර දක්වාත් 2001 වසරේ සිට 2006 වසර දක්වාත් 2011 වසරේ සිට 2016 වසර දක්වාත් සිය නොසැලෙන ධෛර්යය යටතේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරය හොබවනු ලබයි.




එසේ දේශපාලන කරළිය තුළ විජයග්‍රාහී ගමන්මඟක නිරත වූ ජයලලිතාට මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආසන 232න් දිනා ගැනීමට හැකි වූයේ ආසන 131ක් පමණි. කෙසේ වුවත් කාන්තාවන් තිදෙනෙකු ද සහිතව ඇමතිවරු තිස් දෙදෙනෙකුගෙන් යුතු ඇමති මණ්ඩලයේ මහ ඇමතිවරිය බවට ඇය නැවත වරක් තේරී පත් වූවාය. ඇගේ මෙම ජයග්‍රහණය බොහෝ දේශපාලන විචාරකයින්ගේ මවිතයට පවා හේතු වූයේ ඇගේ පාලන සමය පිළිබඳ බොහෝ චෝදනා එල්ල වීම හේතුවෙනි. එසේම ජයලලිතා විසින් සිදු කළ බව පැවසෙන දූෂණ හේතුවෙන් ඇයට සිරගත වීමට පවා සිදුවී තිබුණි. එසේ වුවත් ඊට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනයක් මඟින් ඇය නිදොස් විය.


ළමා වියේ සිට මියයන මොහොත තෙක්ම ජයලලිතාට තම ජීවිතය තුළදී අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවිය. එහෙත් ඒ සෑම අභියෝගයකදීම ගත යුතු නිවැරදි තීරණ ගැනීමට ඇය සමත් විය. උපතින් කාන්තාවක් වුවද එය ජීවිතයේ අභියෝග ජය ගැනීමට පවත්නා බාධාවක් වශයෙන් නොසැලකූ ඇය කාන්තාවක් සතු අසීමිත ධෛර්යය ලොව හමුවේ කියා පෑ ප්‍රතිමූර්තියක් හා සමානය. එනිසා සරාගී සිනමා නිළියක් ලෙස ජීවිතය අරඹමින් මිලියන හැත්තෑවක් පමණ වන ජනතාවකගේ අම්මා බවට පත්වන ජයලලිතා තම භෞතික සිරුර හැර ගිය ද තව බොහෝ කලක් තමිල්නාඩු ජනතාගේ හදවත් තුළ ජීවත් වන බව නොඅනුමානය.

කෙසේ වුවත් ජයලලිතාගේ මරණය සැක සහිත බවට තෙලිඟු සුව ශක්ති සංවිධානය විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මාස දෙකක කාලයක් පුරා ජයලලිතා ඇපලෝ රෝහලේ නතර වී ප්‍රතිකාර ලැබූ බැවින් ඒ සම්බන්ධව ඇගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන කිසිවක් ප්‍රකාශයට පත්වී නොමැති බවත් ඔවුන් එම පෙත්සම ඔස්සේ පෙන්වා දී ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා ජයලලිතා ප්‍රතිකාර ලැබීම රහසිගතව සිදු වූ බැවින් ඇයට එරෙහිව කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වී ඇති බව එම සංවිධානය සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.



එම පෙත්සම ඔස්සේ දක්වා ඇති කරුණු වන්නේ ජයලලිතා ප්‍රතිකාර ලබන ස්‌ථානයට කිසිවකුටත් යෑමට අවසර නොදීම, ජයලලිතාගේ ඥාතීන්ට ඇය බැලීම සඳහා ශෂිකලා ඉඩනොදුන් බව ජයලලිතාගේ ඥාති දියණියක් වූ අම්රුතා පවසා තිබීම, ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ සිදු නොවීම, අවමංගල්‍ය කටයුතු සිදු කරන්නකු විසින් ජයලලිතාගේ නිකටේ සිදුකළ එම්බාම් සළකුණක්‌ දක්නට ලැබෙන බැවින් ඇය දින ගණනකට පෙර මියගියාද යන සැකය එමගින් ඉස්මතු වීම හා  දෙසැම්බර් 6 වන දින සවස 5.30 ට ඇය මියගිය බවට ප්‍රචාරය වූයේ කවර හේතුවක් නිසාද යන්නයි. එසේම තමිල්නාඩුවේ ප්‍රකට නළුවෙක් වන ගම්නව් තාදිමල්ලා අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක්‌ යවමින් ජයලලිතාට ප්‍රතිකාර කිරීම රහසක්‌ ලෙස තබා ගත්තේ කුමක් නිසාද යන්නත් ප්‍රශ්න සහගත බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ යුතු බව ද පෙන්වා දී තිබේ.