තිස්ස අත්තනායකට ඇප ලැබෙයි

තිස්ස අත්තනායකට ඇප ලැබෙයි

December 5, 2016   10:47 am



ඉකුත් ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි කියමින් කූඨ ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කළ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි හිටපු පා.ම තිස්ස අත්තනායක මහතා ඇප මත මුදාහැර තිබේ.

සැකකරු අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට විනිසුරු කුසලා සරෝජනි වීරවර්ධන මහත්මිය නියෝග කර ඇත.

එසේම අදාළ චෝදනාව පිළිබඳ නඩු විභාගය මාර්තු මස 20 වනදා සිට දිනපතා විභාග කිරීමට ද මහාධිකරණය තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

ඉහත චෝදනාවට අදාළව තිස්ස අත්තනායක මහතා පසුගිය ඔක්තෝබර් 19දා උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙසැම්බර් මස 5 දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබුණි.

ඔහු ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේ එජාපයේ මහලේකම් ධූරයෙන්  ඉවත්වී දින කිහිපයකට පමණක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ද ලබාගත්තේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුළ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර රහසිගත ගිවිසුමක් ඇතැයි ඔවුන්ගේ ව්‍යාජ අත්සන් යොදා සකස් කරන ලද ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කර තිබුණි.

කෙසේ වුවද ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගැනීමෙන් පසු මේ ගැන පරීක්ෂණ සිදුකළ අතර ඒ අනූව මෙම සිද්ධියට අදාළව මීටත් පෙර අවස්ථාවකදී තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට පසුව ඇප මත නිදහස් කරන ලදී.

ඒ අනූව නීතිපතිවරයා විසින් මේ ගැන නඩු පැවරීමෙන් පසු අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී පසුගිය ඔක්තෝබර් 19දා කැඳවීමෙන් අනතුරුව දෙසැම්බර් මස 05 තෙක් ඔහු රිමාන්ඩ් කිරීමට විනිසුරු කුසලා සරෝජනි වීරවර්ධන මහත්මිය නියෝග කෙරිණ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.