අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ අර්බුදය

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ අර්බුදය

September 26, 2016   01:09 pm


සටහන-සුරෝෂන ඉරංග

ශ‍්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ මේ දිනවල කතාබහට ලක්වන වඩාත් උණුසුම් මාතෘකාවක් ලෙස අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පිහිටුවීමට නියමිත කාර්යාලය සම්බන්ධ පනත පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම ඉකුත් 2009 වර්ෂයේ දී යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙන්ම ඊට පෙරත් විවිධ හේතු පදනම් කර ගනිමින් මෙරට සිදුවූ අතුරුදහන් වීම් සම්බන්ධව විධිමත් පරීක්ෂණ මෙරට තුළ පවත්වා නොතිබුණු වාතාවරණයක් තුළ පාර්ලිමේන්තුවේ සම්මත වන මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශව විවිධ පැතිකඩ ඔස්සේ අදහස් පළ කරමින් සිටියි.

එහි දී ආණ්ඩු පාර්ශවය ඇතුළු යම් යම් පාර්ශව මෙම පනතට පක්ෂව අදහස් දැක්වීම සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු වෙනත් පාර්ශව විසින් මෙම පනතට විපක්ෂව අදහස් දැක්වීම මෙන්ම මෙම පනත සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ සම්මන්ත‍්‍රණ ආදිය පැවැත්වීම තුළ මෙකී පනත පිළිබඳ කතිකාව මෙරට සමාජය තුළ වඩාත් සංවාදශීලී ප‍්‍රවේශයක් නිර්මාණය කර තිබේ. එම ප‍්‍රවේශය තුළ ඇතැමුන් විසින් මෙම පනත මෙරටට අතිශය හානිදායක පනතක් ලෙස හුවාදැක්වීම ද සිදුවේ. කෙසේ වුවත් මෙම අදහස් හා මතවාද තුළ මෙම පනත සම්බන්ධව වඩාත් විශ්ලේෂණාත්මක විග‍්‍රහයක නියැලීම වැදගත් වන අතර මේ ඒ සඳහා තබන සටහනකි.



මෙරට තුළ පුද්ගලයින් අතුරුදහන් වීම සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී විවිධ අවධිවල විවිධ හේතු මත පදනම්ව අතුරුදහන් වීම් සිදුවී ඇති බව ප‍්‍රකාශ කළ හැකිවේ. එහි දී 1971 වසරේ දී සිදුවූ තරුණ නැගිටීම තුළ ඝාතනය වීමට හෝ අතුරුදහන් වීමට ලක්වූ බව පැවසෙන පිරිස 5000 ක් පමණ වන බව පැවසේ. ඉන් අනතුරුව 1988 - 1989 වර්ෂවල නැවතත් එවැනිම තරුණ නැගිටීමක් සිදුවන අතර එම සමයේ දී 60000 ක් පමණ වූ පුද්ගලයින් ප‍්‍රමාණයක් අතුරුදහන් හෝ ඝාතනය වීම්වලට ලක්වූ බවට නිල නොවන වාර්තා කරුණු දක්වයි. ඒ අනුව 1979 සහ 1988 - 89 වර්ෂවල දී  සිදුවූ අතුරුදහන් වීම් පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභා මඟින් නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා රාජ්‍ය බලය විමධ්‍යගත කිරීම ඇතුළු වැදගත් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළ නමුත් එම වකවානු තුළ රාජ්‍ය බලයේ රැඳී සිටි කිසිම ආණ්ඩුවක් එම යෝජනා ක‍්‍රියාවට නැංවීම සඳහා කටයුතු කළ බව දක්නට නොලැබුණි.

විශේෂයෙන්ම මෙම තරුණ නැගිටීම්වල දී සිදු වූ බව පැවසෙන දහස් සංඛ්‍යාත අතුරුදහන්වීම් මෙරට සමාජය තුළ දැවැන්ත සමාජ ඛේදවාචකයක් ලෙස සනිටුහන් වී පවතින විට එම ඛේදවාචකයට නොදෙවෙනි ඛේදවාචකයක් ලෙස වසර තිහකට ආසන්න කාලයක් පුරාවට මෙරට තුළ ක‍්‍රියාත්මක වූ යුද වාතාවරණය තුළ සිදුවූ අතුරුදහන් වීම්වල ප‍්‍රමාණය ද සලකන කල එම අතුරුදහන් වීම් සම්බන්ධව විධිමත් ලෙස විමර්ශන පවත්වා තොරතුරු හෙළි කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. මන්ද යත් විවිධ විවිධ හේතු මත ඇතැම් පාර්ශව වෙත යම් යම් අතුරුදහන් වීම් පිළිබඳව චෝදනා එල්ලවීම සහ විදෙස් පාර්ශව වෙතින් ජාත්‍යන්තර වශයෙන් එල්ල වන බලපෑම් හා ඒ හේතුවෙන් සිදුවන ජාත්‍යන්තර අත පෙවීම් මඟින් ද අතුරුදහන් වූවන් පිළිබඳ අර්බුදය වර්තමානය තුළ රටක් වශයෙන් ද ජයගත යුතු අභියෝගයක් බවට පත්ව ඇති නිසාවෙනි. එබැවින් කල් ගත වී හෝ අතුරුදහන් වීම්වලට අදාළව විධිමත් විමර්ශන සිදුවීම සඳහා මෙසේ නෛතික ක‍්‍රමවේදයක් සකස් වීම පැසසිය යුතු කරුණකි.



ඒ අනුව ඉකුත් අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව ප‍්‍රකාශ වූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම පිළිබඳ පනත් කෙටුම්පත මඟින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරනු ලබන කාර්යයන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය. එහි දී මෙම පනත් කෙටුම්පත සම්මත වීමේ වලංගුභාවය සම්බන්ධව ද තර්ක මතු කරනු ලැබූ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශව විසින් පාර්ලිමේන්තුව තුළ කළු පටි පවා පැළඳ පනත සම්බන්ධව පළකළ ප‍්‍රබල විරෝධය හමුවේ ඔවුන්ට අදහස් පළ කිරීමට ද අවස්ථාව හිමි නොවූ බවට චෝදනා නැඟුණි. එහෙත් විවිධ පාර්ශව ඉදිරිපත් කළ සංශෝධන සහිතව අවසානයේ පනත් කෙටුම්පත සම්මත විය. කෙසේ වුවත් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුවුව ද පනත් කෙටුම්පතට එරෙහිව කිසිදු පාර්ශවයක් අධිකරණය හමුවට යාමට කටයුතු නොකළ බව ද මෙහි දී සඳහන් කළ යුතුය. එනම් ආණ්ඩු පාර්ශවය විසින් ප‍්‍රකාශ කරනු ලබන පරිදි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ විවිධ කණ්ඩායම් පනත සම්මත වන දින ප‍්‍රබල විරෝධයක් පළකර ඉන් පෙර හා පසුව ද විරෝධය පළ කිරීමට කටයුතු කරනු ලැබුවද මෙම පනත් කෙටුම්පත සම්බන්ධව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු නොවීමට කටයුතු කර පදනම් විරහිත තර්ක පනත පිළිබඳව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන යෝග්‍යතාව කෙරෙහි සිතා බැලීම ද වැදගත්ය.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමේ වැදගත්කම පිළිබඳව සලකා බැලීමේ දී වර්තමානයේ මෙරට තුළ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලබන යහපාලන ආණ්ඩුකරණය සඳහා මෙවැනි පනතක අවශ්‍යතාව අතිශයින් වැදගත්ය. මන්ද යත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දී ඇති පරිදි යහපාලන මූලධර්මයක් වන වගවීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මෙම කාර්යාලය පිහිටුවීම අත්‍යාවශ්‍ය අංගයක් වන බැවිනි. එනම් මෙරට තුළ සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා ගෙනයනු ලබන වැඩපිළිවෙල තුළ පිහිටුවිය යුතු ආයතන පද්ධතිය සහ අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය සඳහා මෙම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ වැදගත්කම ප‍්‍රමුඛ සාධකයකි. විශේෂයෙන්ම වඩා සාර්ථක යහපාලන දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා අතීතයේ දී සිදුවූ අතුරුදහන් වීම් සම්බන්ධව විධිමත් විමර්ශන මඟින් නිගමනවලට එළඹී තිබීම වැදගත් වන අතර වර්තමානයේ දී සහ අනාගතයේ දී නැවත කිසිදු හේතුවක් මත එවැනි සිදුවීම් සිදුවීමට ඇති ඉඩකඩ වැළැක්වීමට කටයුතු කිරීම ද වැදගත්ය.



එසේම මෙම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණ ද සෘජුවම බලපා ඇති බව පැවසිය යුතුය. එහෙත් එම යෝජනා සහ තීරණ හුදෙක්ම වර්තමාන රජය සමයේ ඉදිරිපත් ඒවා නොවුණ අතර පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ දී අනුගමනය කරනු ලැබූ ඇතැම් ක‍්‍රියාමාර්ග ද ඒ සඳහා මූලික වශයෙන්ම හේතු වී ඇති බව සඳහන් කළ යුතුය. ඒ අනුව මෙම පනත සම්මත කිරීම සම්බන්ධව වත්මන් ආණ්ඩුවට චෝදනා කිරීම පමණක් යුක්ති සහගත නොවන බැවින් ඒ සඳහා බලපෑ කරුණු පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කිරීම වැදගත්ය.

එනම් 2009 වර්ෂයේ දී යුද්ධය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් අප රට පීඩනයට ලක්වූ අතර ඒ සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. එම සංචාරයෙන් අනතුරුව ශ‍්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් ද නිකුත් කරන ලදි. එම ඒකාබද්ධ ප‍්‍රකාශය අනුව තිරසාර සාමය සහ සංවර්ධනය සඳහා කටයුතු කිරීම ඇතුළුව විශේෂයෙන්ම මානව හිමිකම් කඩවීම් සම්බන්ධව කටයුතු කරන බවට ද පසුගිය රජය ප‍්‍රකාශ කරන ලදි. ඉන් අනතුරුව මැයි මස 27 වන දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාව විසින්ම යෝජනා කරනු ලැබූ මානව හිමිකම් ප‍්‍රවර්ධනයේ දී සහ ආරක්ෂා කිරීමේ දී ශ‍්‍රී ලංකාවට සහාය වීම නැමැති යෝජනාව බහුතර ඡුන්දයකින් අනුමත කර ගැනීමට ද කටයුතු කරන ලදි. එම යෝජනාවේ අන්තර්ගත වූ කරුණු අතර කල් පවත්නා සාමයක් මෙරට තුළ ඇති කිරීම සඳහා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමත් සියලූ මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කැපවීම මෙන්ම මානව හිමිකම් භුක්ති විඳීමේ දී සුළුතර කණ්ඩායම්වලට වෙනස්කම් නොකිරීමට වගබලා ගැනීම ආදිය ඇතුළත් විය. තව ද මෙරටට පැමිණි මහ ලේකම්වරයා සහ පසුගිය රජය විසින් නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශයේ අන්තර්ගත අවබෝධතා අනුමත කිරීම ද යෝජනාවේ අන්තර්ගත කරුණු අතර විය.



කෙසේ වුවත් මෙම යෝජනා ජාත්‍යන්තර ප‍්‍රජාව තෘප්තිමත් කරන අයුරින් ඉටු කිරීමට අපොහොසත් වූ බැවින් ජගත් සංවිධානයේ මහලේකම්වරයා විසින් ඔහුට උපදෙස් ලබා ගැනීම සඳහා යැයි පවසමින් දරුස්මාන් කමිටුව පත්කළ අතර එම කටයුතු ශ‍්‍රී ලංකා රජය පිළිනොගන්නා බවට ප‍්‍රකාශ වුව ද පසුව කමිටුව සමඟ සාකච්ඡා කිරීමට රජය විසින් නියෝජිතයන් පත්කරන ලදි. ශ‍්‍රී ලංකා රජය දරුස්මාන් කමිටුවට සහය නොදෙන බව ප‍්‍රකාශ වීමත් සමඟ එම කමිටුව රජයේ සහයෝගයෙන් තොරව ඔවුන් විසින්ම කරුණු විමර්ශනය කිරිමට කටයුතු කරනු ලැබූ අතර එම කමිටුව වෙත ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කර ගනිමින් දරුස්මාන් කමිටුව චෝදනා පහක් ශ‍්‍රී ලංකා රජයට විරුද්ධව ද තවත් චෝදනා හයක් එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව ද ඉදිරිපත් කරන ලදි. මෙම තත්වය මත ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුය නැමැති මතය අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්විය.

එහෙත් යුධ සමයේ දී මෙරට හමුදාව ක‍්‍රියා කළ ආකාරය පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් නඟන ලද චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා 2010 මැයි මස 15 වැනි දින ජනාධිපතිවරයාගේ උපදෙස් මත පිහිටවූ උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිෂන් සභාව හෙවත් ඛඛඍක්‍ ය මඟින් ද කරුණු විමර්ශනය කිරීමට කටයුතු කළ අතර 2013 වර්ෂයේ අගෝස්තු මස 15 වන දින ප‍්‍රකාශයට පත්කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් පිහිටවනු ලැබූ පරණගම කොමිසම හෙවත් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව මඟින් ද උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමට කටයුතු කරන ලදි. එහි දී 1990 ජූනි මස 10 වන දින සිට 2009 මැයි මස 19 දින දක්වා එනම් යුද්ධය අවසන් වූ දිනය දක්වා උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් මුහුණ දුන් ප‍්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලැබී තිබූ ප‍්‍රශ්න විමර්ශනය කිරීම සඳහා මෙම කොමිසම කටයුතු කළ අතර එහි දී මෙම කාල සීමාව තුළ එම ප‍්‍රදේශවල පදිංචිව සිටි යම් යම් තැනැත්තන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව පදිංචි ස්ථානවලින් ඉවත්කරගෙන යාම සම්බන්ධව හෝ ඔවුන් අතරින් ඇතැමුන් අතුරුදහන් වී සිටියි ද යන්න පිළිබඳවත් එසේ අතුරුදහන් වූ හෝ ඉවත් කරනු ලැබූ පුද්ගලයින් කවුරුන්ද යන්නත් ඔවුන් දැනට පදිංචිව සිටින ස්ථාන පිළිබඳව මෙන්ම අදාළ අතුරුදහන් වීම්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනය කිරීමට හා එවැනි ක‍්‍රියාවන් අනාගතයේ දී නැවත සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග අධ්‍යයනය කිරීමට ද මෙම කොමිසම කටයුතු කරන ලදි.



 කෙසේ වුවත් කොමිෂන් සභා වාර්තාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දරුණු ක‍්‍රියාවන් ලැයිස්තු ගත කිරීම, භාෂාව සම්බන්ධ අයිතීන්, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරන කටයුතු ඇතුළු තවත් නිර්දේශ ගණනාවක් මෙන්ම විශේෂයෙන්ම සිවිල් පුරවැසියන්ගේ මරණ සහ ඔවුන්ගේ අතුරුදහන් වීම්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ සිදුකළ සඳහන් කිරීම් ද ඇතුළත් විය. තව ද මෙම කොමිෂන් සභා වාර්තාවෙන් අවධාරණය කළ වැදගත් කරුණක් වූයේ ශ‍්‍රී ලංකා හමුදාව කවර හෝ ආකාරයකින් කිසියම් ජන කොට්ඨාශයක් ඉලක්ක කර ගනිමින් සමූල ඝාතනයක් සිදු කර ඇති බවට නැඟුණු චෝදනාව කොමිසම විසින් ප‍්‍රතික්ෂේප කර තිබීමයි.

තව ද පරණගම කොමිසමට අමතරව උදලාගම කොමිසම නැමැති කොමිසමක් ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද අතර 2005 අගෝස්තු මස 1 වන දා සිට සිදුවූ බරපතල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ විමර්ශනය කිරීම එම කොමිසමට පැවරී තිබූ කාර්යය විය. කෙසේ වුවත් 2009 වසරේ දී කොමිසමේ කාර්යයන් හදිසියේ නැවතුණු අතර එයට හේතු වූ කරුණ ලෙස ජනාධිපතිවරයා විසින් කොමිසමේ විමර්ශන පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටීම බලපෑ බව පසුව සඳහන් විය.



තව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් 2014 මාර්තු මස 27 වන දින සිදුකළ යෝජනා සම්මත කිරීමෙන් අනතුරුව ඛඛඍක්‍ කොමිසම මඟින් ආවරණය කළ කාල සීමාව තුළ දෙපාර්ශවය විසින්ම සිදු කළ බවට පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් ඉල්ලා සිටීම සිදුවිය. එසේම 2015 ඔක්තෝබර් මාසයේ දී ශ‍්‍රී ලංකා රජයේ සම දායකත්වය ද සහිතව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවකින් ප‍්‍රකාශ වූයේ අදාළ යෝජනාවේ ප‍්‍රගතිය සම්බන්ධ වූ වාචික වාර්තාවක් අනතුරුව ජූනි මස පැවැත්වෙන සැසිවාරය සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිසවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව සහ පසුව 2017 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 34 වන සැසිවාරයේ දී ඒ සම්බන්ධව පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිත වන බවයි. කෙසේ වුවත් එක්සත් ජාතීන්ගේ යෝජනා සම්මතයන් බලාත්මක කිරීම පිණිස රජය විසින් ක‍්‍රියාමාර්ග කිහිපයක් ගනු ලැබූ අතර ඒ අතරින් වැදගත්ම ක‍්‍රියාමාර්ගය ලෙස මෙම අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පිහිටුවීමට නියමිත කාර්යාලය සම්බන්ධ පනත පෙන්වා දිය හැකිය. ඒ අනුව වත්මන් රජය විසින් මෙම පනත් කෙටුම්පත සම්මත කළ ද ඒ සඳහා බලපාන ලද හේතු ඉන් වසර ගණනාවකට පෙර නිර්මාණය වූ සාධක මත පදනම් වී ඇති බැවින් වර්තමාන රජයට පමණක් ඒ සඳහා චෝදනා එල්ල කිරීම යුක්ති සහගත ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

මෙහි දී විශේෂයෙන්ම රටක් වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ අපට මුහුණ දීමට සිදුවී ඇති තත්වය තුළ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමේ වැදගත්කම තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය. එනම් මෙම පනත මඟින් දශක ගණනාවක් පුරා අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට හැකි උපරිමයෙන් කටයුතු කළ හැකිය. ඒ කෙසේද යත් අතුරුදහන් වූ අයෙක් තවමත් ජිවතුන් අතර සිටීද නැතහොත් නොසිටී නම් ඔවුන්ට සිදු වූයේ කුමක් ද යන්න සොයා බැලීම සඳහා සාමාන්‍ය අධිකරණයක් ඉදිරියේ පිළිනොගැනෙන සාක්ෂි පවා මෙම කාර්යාලයේ පරීක්ෂණ තුළ දී පිළිගැනීමට කටයුතු කරයි. එමෙන්ම මෑතක දී සම්මත වූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ දී පවා අනාවරණය නොකරන යම් යම් කරුණු ද මෙම පරීක්ෂණ ඉදිරියේ දී උල්ලංඝනය කිරීමට ලක්වන්නේ හැකි උපරිමයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා මෙම පනත ඔස්සේ  කටයුතු කිරීමට හැකියාව ලැබී ඇති බැවිනි.



එහෙත් මෙම පනත මඟින් ජාත්‍යන්තර වශයෙන් මෙරටට එල්ලවන බලපෑම් ද ඇතුළුව දේශීය වශයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ අතිශය පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අවකාශය සැලසී තිබුණ ද මෙම පනත ගෙන ඒමට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විරෝධය ද යම් යම් තර්ක මත සමාජයේ අවධානය දිනාගෙන තිබේ. ඒ අනුව මෙම පනත මඟින් රණවිරුවන්ට දඬුවම් නියම කළ හැකිය නමැති මතය දැනටමත් සමාජගත වී ඇති අතර එම චෝදනා නොසලකා හැරීම ද සිදු කළ නොහැකිය. ඒ අනුව මෙම පනත තුළ අතුරුදහන් වූවන් ලෙස කිසිදු අවස්ථාවක ත‍්‍රස්තවාදය අර්ථදක්වමින් ත‍්‍රස්තවාදීන් පිළිබඳ සඳහන් කර නොමැති බැවින් අතුරුදහන් වූවන් ලෙස ත‍්‍රස්තවාදීන් ද සලකා ඒ පිළිබඳ විමර්ශනය කිරීමට සහ එමඟින් රණවිරුවන්ට දඬුවම් නියම කළ හැකි බවට මෙහි දී මත පළවේ.

තවද මෙම පනත සම්බන්ධව නැගෙන තවත් ප‍්‍රබල චෝදනාවක් වන්නේ පනතේ ප‍්‍රතිපාදන පදනම් කර ගනිමින් මියගිය ත‍්‍රස්තවාදීන් සහ අතුරුදහන් වූ ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබා ගැනීමට මෙම පනත මඟින් ප‍්‍රතිපාදන සපයා ඇති බවයි. විශේෂයෙන්ම මෙහි දී අතුරුදහන් වූවන් ලෙස සාක්ෂි ඉදිරිපත් කරමින් විදේශ රටවල ජිවත් වන ත‍්‍රස්තවාදීන්ගේ ඥාතීන්ට ද රජයෙන් වන්දි මුදල් ලබා ගැනීමට අවකාශය සැලසීම බරපතල තත්වයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත.

එමෙන්ම විදේශ සංවිධාන සමඟ ගිවිසුම් ගත වීම සඳහා මෙම පනත ප‍්‍රකාරව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට බලය ලැබීම ද අතිශය විවාදාත්මක තත්වයක් වශයෙන් පෙන්වා දිය යුතුය. මන්ද යත් මෙම ප‍්‍රතිපාදනය ප‍්‍රකාරව රාජ්‍ය බලය පවා අභියෝගයට ලක්වන අතර එම තත්වය රාජ්‍ය ආරක්ෂාවට එල්ල වන තර්ජනයක් බවට පත්වීමට ද ඉඩ ඇත.



තව ද මෙම කාර්යාලයට පත් කරනු ලබන සාමාජිකයින් සම්බන්ධව ද ප‍්‍රශ්නගත වන කරුණු මෙම පනත තුළ අන්තර්ගත වන බව පෙනේ. ඒ අනුව මෙම කාර්යාලය සඳහා සාමාජිකයින් හත් දෙනෙකු  පත් කරනු ලබන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් ඔවුන් පත් කරනු ලබයි. එහි දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී දින 14 ක් ඇතුළත ජනාධිපතිවරයා විසින් අදාළ තනතුරු සඳහා ඔවුන් පත්කිරීම සිදුකළ යුතු වන අතර අදාළ කාලය තුළ එම පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වුවහොත් අදාළ සාමාජිකයින් පත් කරනු ලැබූ බවට සැලකිය යුතු වන බවට වගන්තියක් ද මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත වේ. එසේම මේ සඳහා පත්කළ යුත්තේ ලාංකිකයන්ම වන බවට පනත තුළ කිසිදු සඳහනක් නොමැති නිසා අදාළ තනතුරුවලට විදේශිකයින් පත් කිරීම ද ඒ අනුව සිදුකළ හැකි බවට ද මත පළවේ.

එමෙන්ම මෙම කාර්යාලයේ කටයුතු සඳහා ආරක්ෂක අංශ ද ඇතුළුව රජයේ  ඕනෑම ආයතනයක ලේඛන කිසිදු ආකාරයක රහස්‍ය බවක් නොතකා ලබා දීමට සිදු වී තිබේ. තව ද මෙම පනත් කෙටුම්පතේ සඳහන් ප‍්‍රතිපාදන ප‍්‍රකාරව බන්ධනාගාරයකට හෝ කඳවුරකට ආදී වූ  ඕනෑම රහස්‍ය ස්ථානයකට වරෙන්තු නොමැතිව  ඕනෑම වේලාවක ඇතුළුවීමට ද  අවකාශය ලබා දී තිබේ. එනිසා මෙම කරුණු මඟින් ජාතික ආරක්ෂාව පිළිබඳ පැවතිය යුතු තත්ව ප‍්‍රබල ලෙස උල්ලංඝනය වන අතර එය කිසිසේත් සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවේ.

එසේම මෙම කාර්යාලය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීම සඳහා ද සම්මත කරන ලද මෙම පනත් කෙටුම්පත මඟින් ප‍්‍රතිපාදන සලසා ඇති අතර මෙම තත්වය විවේචනය කරමින් ඇතැම් පාර්ශව චෝදනා නගනු ලබන්නේ ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවේ මුදල් යොදවමින් මෙරට ස්වෛරීත්වයට හානි විය හැකි පරිදි වාර්තා සකස් කිරීමට මෙමඟින් කටයුතු කළ හැකි බවයි.

කෙසේ වුවත් මෙම පනත පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරනු ලබන්නේ මෙම පනත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධව කටයුතු කළ නොහැකි බවයි. ඒ අනුව මෙම පනතේ 27 වන වගන්තිය ප‍්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ආකාර ත‍්‍රිත්වයක් යටතේ අර්ථකතනය කරයි. ඉන් මුල් ආකාර ද්විත්වයෙන් සීමා කිරීම් නිරූපණය කරනු ලබන අතර අවසාන පැහැදිලි කිරීමෙන් අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරනු ලබයි.



එහි දී මෙම පනතේ 27 (i) වගන්තිය අනුව උතුරු නැගෙනහිර පළාත්වල සිදුවූ සන්නද්ධ ගැටුම්වලට සම්බන්ධව සිදුවූ අතුරුදහන් වීම් පිළිබඳව සඳහන් වන අතර එහි විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල යනුවෙන් සඳහන් වන බැවින් රට පුරා සිදුවූ සන්නද්ධ ගැටුම්වලට අදාළ අතුරුදහන් වීම් මෙයට අදාළ නොවේ. පනතක් අර්ථ නිරූපණය කරනු ලබන්නේ අර්ථ නිරූපණ නීතිය අනුව වන අතර ලතින් බසින් ExpressioUniusestexclusioalterius ලෙස හඳුන්වන රීතියෙන් ප‍්‍රකාශ කරනු ලබන ආකාරයට යම් කරුණක් නිශ්චිතව සඳහන් කළ විට එම කාණ්ඩයේ අනෙකුත් කාරණා බැහැර කෙරේ. එම සිද්ධාන්තය මෙම පනතේ 27 (i)  වගන්තියට යෙදුවිට උතුරු නැගෙනහිර පළාත්වල සිදුවූ සන්නද්ධ අරගලය පිළිබඳව නිශ්චිතව සඳහන් කිරීමෙන් මෙරට සිදුවූ අනෙකුත් අරගල මෙම පනතට අදාළ විෂය පථයෙන් බැහැර කිරීම සිදුවේ. එනම් ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 සහ 1987-1989 ආදී වර්ෂවල මෙහෙයවන ලද කැරලි සමයේ සිදුවූ අතුරුදහන් වීම් මෙම පනතේ 27 (i)  වගන්තිය යටතේ සැලකිය නොහැකි වේ.

එමෙන්ම මෙහි 27 (ii) වගන්තිය අනුව දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැරලි කෝලාහලවලට අදාළව සිදුවූ අතුරුදහන් වීම් පිළිබඳව කටයුතු කළ හැකිවේ. ඒ අනුව සාමාන්‍ය පුරවැසියන් විසින් සිදු කරනු ලබන කැරලි කෝලාහල සම්බන්ධව සිදුවූ අතුරුදහන් වීම් මේ යටතේ සලකා බැලේ. නිදසුන් වශයෙන් සරසවි සිසුන් විසින් සිදු කරන අරගල සහ සාමාන්‍ය මහජනයා විසින් විවිධ හේතු මත පදනම්ව සිදු කරන විවිධ අරගල ආදිය පෙන්වා දිය හැකිය. එනම් 1983 වසරේ ජූලි මාසයේ දී ඇතිවූ කලූ ජූලිය නමින් හැඳින්වෙන සිද්ධිය ද 27 (ii) වගන්තිය වගන්තිය යටතේ සැලකිය හැකි සිදුවීමකි. එසේම මෙම පනතේ 27 (ii) වගන්තිය අනුව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියෙන් International Convention for the Protection of All Persons from Enforced Disappearance ලබා ගන්නා ලද නිර්වචනය අනුව ද අතුරුදහන් වූ තැනැත්තා ලෙස හඳුනාගත හැක්කේ කවරෙක් ද යන වග පෙන්වා දෙනු ලබයි. ශ‍්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබන ලද්දේ නව රජය බිහිවීමෙන් පසුව 2015 වසරේ දෙසැම්බර් මස 10 වන දිනය. මෙම නිර්වචනය අනුව රජය විසින් සිදුකරන අතුරුදහන් වීම් සම්බන්ධව ප‍්‍රකාශ වේ.

එබැවින් මෙම සීමා කිරීම් සහ අර්ථ දැක්වීම් පිළිබඳ අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කරනු ලබන්නේ රෝහණ විජේවීර මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධව විමර්ශනය කිරීම මෙම පනත අනුව සිදු කළ නොහැකි බවයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම පනතට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කරන්නට ඇත්තේ රෝහණ විජේවීර මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධව මෙම පනත ඔස්සේ කටයුතු කළ හැකි බවට ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් විය හැකි බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.



මේ අනුව සැලකීමේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධව සම්මත වූ පනත් කෙටුම්පත මඟින් යහපාලන ක‍්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව පැහැදිලිය. විශේෂයෙන්ම මෙම පනත ගෙන ඒම වසර ගණනාවක් පුරා මෙරට සිදුවූ අතුරුදහන් වීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා අනුගමනය කළ යුතු වූ අනිවාර්ය ක‍්‍රියාවලියක් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බලපෑම් මඟින් ද ඉටු කළ යුතු බවට තහවුරු කරනු ලැබූ ක‍්‍රියාවලියකි. එමෙන්ම එය දින කිහිපයකින් සිදුවූ ක‍්‍රියාදාමයක් නොවන අතර වර්තමාන ආණ්ඩුව පමණක් මේ සඳහා වගකිව යුතු බවට නැඟෙන චෝදනා ද පදනම් විරහිත වේ. එහෙත් තත්වය එසේ වූ පමණින් මෙම පනත් කෙටුම්පතේ අඩංගු වන කරුණු සම්බන්ධව එල්ල වන චෝදනාවලට ආණ්ඩු පාර්ශවයෙන් පිළිතුරු සැපයීම සහ එම විවාදාත්මක කරුණු සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශවය විසින් සිදුකළ යුතු පැහැදිලි කිරීම් සිදු කිරීම මඟ නොහැරිය යුතුය. මන්ද යත් එසේ නොවුණහොත් විශේෂයෙන්ම ඉකුත් යුද සමය තුළ මෙරට සමාජයේ ගෞරවාදරයට පත්වූ රණවිරුවන්ගේ නාමයට එල්ල කරනු ලබන මාරු පහරක් හා සමාන වන මෙම පනත් කෙටුම්පත වත්මන් යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වයට පාරාවළල්ලක් වන බව නිසැකය. එබැවින් මෙම කාර්යාලය පිහිටුවීමේ සැබෑ අවශ්‍යතාව ජනතාවට අවබෝධ කරවීම සඳහා කටයුතු කරමින් මෙම පනත් කෙටුම්පතට විරුද්ධව නැෙඟන චෝදනාවලට පිළිතුරු සැපයීමට ආණ්ඩු පාර්ශවයේ වගකිව යුතු තැනැත්තන් වහා මැදිහත් විය යුතු බව මෙහි දී අවසාන වශයෙන් අවධාරණය කරමි.