ජනපති නිල වෙබ් අඩවියේ දත්ත වෙනස් කළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි!

ජනපති නිල වෙබ් අඩවියේ දත්ත වෙනස් කළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹයි!

August 28, 2016   05:20 pm


ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය සතියේ අවස්ථා දෙකකදී ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් එහි දත්ත වෙනස් කර තිබූ බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වන විට එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කර තිබේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ අනවසරයෙන් ඇතුළු වු කණ්ඩායම වෙබ් අඩවිය තුළ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් සිය විමර්ශනයේ දී අවධානය යොමුකරන බවයි.

එමෙන්ම යළි මෙවැනි අනවසර ඇතුළුවීම්වලින් තොරව තාක්ෂණික වශයෙන් ආරක්ෂිතව වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේය.