ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ - ජනපති නිලධාරීන්ට පවසයි

ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ - ජනපති නිලධාරීන්ට පවසයි

June 8, 2021   11:35 am

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී ඇති බවත් එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇති බවත් එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි යා යුතු තැන මෙතෙන. මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕනේ. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව ම කියලා තියෙනවා. අයවැයේ දී පැහැදිලිව කිව්වා අපි මෙතැනට යන්නේ කියලා. මම මේක තීරණයක් අරගෙන තියෙනවා. මේක රටට නෙමෙයි ලෝකයට ම හොඳ දෙයක්. නරක දෙයක් නම් මට ඕන නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ.“

කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත් තීරණයක් නොවන බවත්  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම පසුගිය අය වැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල විභවයක් පවතින අතර සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ
බෝ නොවන රෝගවලට මුහුණ පා ඇති බවත් එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලුදෙනාගේ වගකීම විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.