MT New Diamond - නැවත ඇති වු ගින්න පාලනය කෙරේ

MT New Diamond - නැවත ඇති වු ගින්න පාලනය කෙරේ

September 8, 2020   12:55 pm

“MT New Diamond“ නෞකාවේ යළි ඇති වූ ගින්න පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇති බව නාවික හමුදාව පවසයි.

නෞකාවේ ගින්නෙන් සමුද්‍ර දූෂණයක් සිදුව ඇත්ද යන්න සොයාබැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, නාරා ආයතනය හා රුහුණු විශ්වවිද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම මේ වනවිට අදාළ මුහුදු ප්‍රදේශය වෙත ගොස් සිටියි.

“MT New Diamond“ මේ වනවිට  ස්ථානගතව පවතින්නේ සංගමන්කන්ද  තුඩුවේ සිට නාවික සැතපුම් 28 ක් එනම් කිලෝමීටර 51ක් පමණ දුරින් ගැඹුරු මුහුදේය.

අධික සුළං ප්‍රවාහය හා නෞකාවේ ලෝහ මත පවතින උෂ්ණත්වය හේතුවෙන් ඊයේ පස්වරුවේ යළි හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ මෙම ආපදා කළමණාකරන මෙහෙයුමේ පාර්ශවකරුවන්ට අයත් නෞකා 09ක්, හා ටග් යාත්‍රා 05ක් එක්ව සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවද MI 17 යානායක් හා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානායක් භාවිත කරමින් ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය Dry Chemical Powder කිලෝග්‍රෑම් 3000 ක් ඊයේ (07) රාත්‍රියේ ගුවනින් ගින්න මතට පතිත කර තිබේ.

ඒ අනුව එම ගින්නේ තත්වය යම් මට්ටමකට පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් දිවයිනට යොමුකරන ලද මුදාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 06 දෙනෙකු සහ ආපදා කළමණාකරණ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ද මෙහෙයුමට එක්ව සිටියි.

ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් වර්ගයේ ගුවන් යානයක් ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය Dry Chemical Powder තොගයක් සමඟ ඉන්දියාවේ චෙන්නායි සිට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණීමට නියමිතය.

ආපදාවට පත් නෞකාවේ වර්ධනය වූ ගින්න එහි ඇති තෙල් සංචිත වෙත පැතිරයාමට හෝ නෞකාවෙන් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් පැන නැගී නොමැති බව නාවික හමුදාව සඳහන් කළේය.

නෞකාවේ ගින්න හේතුවෙන් යම් සමුද්‍ර දූෂණයක් සිදුව ඇත්ද යන්න සොයා බැලීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය හා රුහුණු විශ්වවිද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම අදාළ මුහුදු ප්‍රදේශය වෙත පැමිණ සිටියි.

නාවික හමුදා යාත්‍රා මඟින් ඔවුන්ව එම මුහුදු ප්‍රදේශය වෙත රැගෙන  ගිය අතර ඔවුන් විසින් මුහුදු ජල නියැඳි ලබාගැනීමට නියමිතය.

නෞකාවේ ගින්නෙන් යම් පරිසර හානියක් සිදුවුවහොත් ඒ සඳහා ජාත්‍යන්තර රටවලින් සහය ලබාගැනීමට මේ වන විට අවධානය යොමුවී ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරිය සඳහන් කළේය.