බදියුදීන්-හිස්බුල්ලා-ආසාද් සාලි තනතුරුවලින් ඉවත් කරන්න රතන හිමි ජීවිත පරිත්‍යාගයට සුදානම්

බදියුදීන්-හිස්බුල්ලා-ආසාද් සාලි තනතුරුවලින් ඉවත් කරන්න රතන හිමි ජීවිත පරිත්‍යාගයට සුදානම්

May 31, 2019   10:56 am

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ ‍කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කර තිබේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද(31) පෙරවරු 09 ට පමණ දළදා මාලිගාවට පැමිණ දළඳා සමිදුන් වැඳපුදා ගත්තේය.

අනතුරුව දළදා මාලිගාවේ මහමළුවේ බෞද්ධ ධජය ඔසවන ස්ථානය අසළට පැමිණි උන්වහන්සේ අද පෙරවරු 10.15ට පමණ එම ස්ථානයේදී උපවාසයක් ආරම්භ කරනු ලැබීය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතන හිමියන් පවසා සිටියේ, මුළු මහත් ඉතිහාසය පුරාම විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බවත් ඒ පිළිබඳ සෙල්ලිපිවලිනුත් අපි ඒවාට මුහුණ දුන් ආකාරය ගැන කියා දෙන බවද පවසා සිටියේය.

විශේෂයෙන්ම දුටුගැමුණු රජ තුමා බුද්ධ ශාසනය රැක ගැනීමට වෙහෙස වු ආකාරය ගැන සියලු දෙනා දන්නා බවත්, ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට හැකි වු බවත් පැවසු රතන හිමියන් භික්ෂූන්ගේ එම කාර්යයන් සිහියට ගෙන අද දවසේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අධිෂ්ඨාන පුජාවක් සිදු කරන බව ද පැවසීය.

වසර 20 කට අධික කාලයක් පුරා පතුරුවා හරින ලද මතවාදයන්ගේ ප්‍රතිඵලයක් ලෙස භයානක තත්ත්වයක් ඇති වු බවත්, මද්‍රාසා පාසල්වලින් මෙවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට දීර්ඝ වශයෙන් කටයුතු කර ඇති බවත් රතන හිමියන් පවසා සිටියේය.

ආර්ථිකය හා විවිධ කේෂ්ත්‍ර තුළ අන්තවාදීන් ඇතුළු වී සිටින බවත් පැවසු රතන හිමියන් අද වන විට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ඔවුන් විසින් හසුරවමින් සිටින බවත් පැවසීය.

ජනාධිපතිවරයාගේ හා විධායකය සතු බලය අද වන විට නැගෙනහිර පළාතේ ආණුකාර හිස්බුල්ලා මහතා විසින් සියලු බලතල පාවිච්චි කරමින් කටයුතු කරමින් සිටින බව ද රතන හිමියන් කියා සිටියේය.

තමන්ගේ ජනතාවට සන්නද්ධ වන ලෙස ද හිස්බුල්ලා නැගෙනහිර ජනතාවට පවසා ඇති බවත් එවැනි තත්ත්වයක් තුළත් අද වන විට ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇති බවත්, බස්නාහිර පළාත තුළ ද  ආණ්ඩුකාරධූරය දරමින් අසාද් සාලි මහතා ද නොයෙකුත් අත්තනෝමතික ක්‍රියා කරමින් සිටින බවද පැවසු රතන හිමියන් පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතා විසින් ද මේ වන විට වංචනික වශයෙන් රාජ්‍ය ආයතන රැසක ක්‍රියා කරමින් සිටින බවද පැවසීය.

එනිසා මෙම මහත්වරුන් ඉතා ඉක්මනින් අගමැතිවරයාට දැනුම් දී ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන ඇති බවට තමා විශ්වාස කරන බව ද උන්වහන්සේ පවසා සිටියේය.

ඉස්ලාම් ත්‍රස්ථවාදයෙන් රට නිදහස් කිරීම සඳහා ඒ සටන තමාගේ අධ්‍යාත්මික ශක්තියෙන් සියලු භික්ෂූන් සමඟ එක්ව පෙරමුණ ගන්නා බවත්, සියලු ජනතාව මේ සඳහා එක්වනු ඇතැයි ද තමා ප්‍රාර්ථනා කරන අතර, තමන්ගේ පාරමිතා බලයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාවට එකඟ වන තෙක් මෙම ස්ථානයෙන් නොනැගිටන බව ද රතන හිමියන් මෙහිදී අධිෂ්ඨාන කර සිටියේය.