
සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන්නේනම් නොවැම්බර් 30 වැනිදා දැවැන්ත වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවට වෘත්තිය සමිති රැසක් රජයට අනතුරු අඟවයි.
ඒ අයවැයෙන් සහන නොලැබුණු බවට පාර්ශ්ව කිහිපයක් මේ වනවිටත් විවිධ විරෝධතාවන්හි නිරත පසුබිමකය.
මේ අතර අයවැයට විරෝධය පළකරමින් ගුරු, විදුහල්පති, සෞඛ්‍ය ඇතුළු වෘත්තිය සමිති රැසක් හෙට (23) වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැලසුම් කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ තෙවැනි අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ''ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට'' යන තේමාව යටතේය.
කෙසේවෙතත් මෙවර අයවැයෙන් අපේක්ෂිත සහන නොලැබුණ බව පවසමින් පාර්ශ්ව රැසක් දින කිහිපයක් මුළුල්ලේ විරෝධය පළකරමින් සිටිවි.
කෙසේවෙතත් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසන්නේ සිය සංගමය හෙට වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්නොවී එළැඹෙන 30 වැනිදා වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත්කරන බවය.
මේ අතර හෙට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති කිහිපයක්ද වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට නියමිතය.
තවත් රාජ්‍ය ආයතන නියෝජනය කරන අංශ රැසක් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සඳහා එක්වීමට නියමිතව ඇත.
මේ අතර අයවැය සහන ඉල්ලා ප්‍රදේශ රැසක ගුරුවරු අදත් විරෝධතාවල නිරත විය.
















































