
ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීම සහ ඒ සඳහා පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා පැවැති මෙම සාකච්ඡාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අදාළ උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමටත් ඒ සඳහා පවතින බාධා නිරාකරණය කිරමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එකඟතාව පළවිය.
මෙහිදී ආයුර්වේද, සිද්ධි හා යුනානි වෛද්‍ය ක්‍රමවේදයන්ට අදාළ පස් අවුරුදු උපාධි පාඨමාලා සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් සඳහා නියමිත වසරක අනිවාර්ය සීමාවාසික පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික හා පරිපාලනමය ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එහිදී ඊළඟ වසර තුළ සීමාවාසික පුහුණුව සඳහා කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට තීරණය වී ඇති අතර එලෙස කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමේදී ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීම සඳහා අදාළ ආයතන මට්ටමින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම උපාධිධාරීන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය යන පීඨවල පස් අවුරුදු උපාධි පාඨමාලා හදාරා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති පිරිසක් බවය.
යෝජිත සීමාවාසික පුහුණු වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා ආයුර්වේද රෝහල්වලදී වසරක කාලයක් පුහුණුව ලැබීමට මෙම උපාධිධාරීන්ට අවස්ථාව සැලසීමට නියමිතය.
අදාළ පුහුණුව ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.



















































